Tuesday, December 24, 2013

රිමෝට් සුභ පැතුම් (පොඩ්ඩක් සැර වැඩිද මන්දා)

රස කතා, පරණ කතා විතරක් ලියලා හරියන්නේ නැති හින්දා යකාට ත් හිතුණා පහුගිය ටිකේ පොඩ්ඩක් ගැඹුරු දෙයක් ගැන ලියන්න. ගැඹුරුයි කිව්වේ ඉතිං පත දාරු ළිදක් වගේ නෙවේ, ඔය පොල් වලක් වගේ යාන්තමට ගැඹුරු එකක්. ඒත් මේ දවස් වල ඒ විදියේ දෙයක්  ගැන ලියන අන්තිම භයානකයි කියලා හිතුණේ පහුගිය ටිකේ ඒ වගේ ලිපි වලට ගියපු හරබර ගැටුම් වලට භය වෙලා නූල් බදින ගානට ආපු හින්දා. යකා වගේ පොඩි එකෙක් - පොඩියි තමා යකෝ, තාම ගෙදරින් කන්නේ, බොන්නේ  -  ලියන දෙයකට ලොකු කට්ටිය පස්සෙන් එළවන්නේ නෑ කියලා දන්නවා. වැඩිම උණොත් කණෙන් අල්ලලා ටොක්කක් අනියි. ඒත් යකාට තව ටික දවසක් පස්ස ගහන එක ඇඟට ගුණයි කියලා හිතෙනවා. අනික මේ නත්තල් කාලේ, නිවාඩු පාඩුවේ ඉන්න වේලාවේ හීනියට යන පරණ කතාවක් වැඩියෙන්ම ගැලපෙයි කියලා හිතුණා හින්දා එහෙම එකක් ලියනවා අදත්.

ඔන්න ඉතිං නත්තලත් ආවා. යකා ටිකක් උදේ පාන්දරම නත්තලට ආරම්භයක් ගත්තා උණාට නත්තල එනකල්ම ඒ ගැන ආයේ හිතන්නවත් බැරි උණා. ගොඩ දවසකින් ගෙදර ඉන්න එක තමයි හිතට පොඩ්ඩක් හරි සහනයක් දෙන්නේ. නත්තල ඉවරයි කියන්නේ ඊලඟට එන්නේ අළුත් අවුරුද්ද. එපාම වෙන වැඩේ තමයි 31 රෑ ඉදලා එක එකාට කෙටි පණිවිඩ යවන එක. යකා ඉස්සර නම් නෑදෑයන්ට එකයි, හොඳම යාළුවන්ට එකයි, අනිත් අයට එකයි අරයාට තව වෙනම එකයි වගේ ගොඩාක් කලින්ම හදාගෙන ඉන්නවා. එක පාරක් ජංගමයේ තිබ්බ අංක සේරටම යැව්වා. ඒත් ඒක මහා ගොන් වැඩක් කියලා යකාට දැන් තේරිලා හොඳටම. අර හලාල් කේස් එක  එන්න කලින් ඒ ගොනා තම්බිට දීලා දැම්ම හින්දා දැන් එච්චරටම ගොන් වැඩ කරන්නේ නෑ. පතරංග ජාතකේ වගේ ලියලා අරින්න හිටපු එකිත් නැති උණාට පස්සේ කාටවත් විශේෂයක් කියලා සුභ පතන්න දෙයක් මේ අවුරුද්දේ යකාට නෑ.

www.hdwallpapersinn.com

හැබැයි ඉතිං බ්ලොග් එකේ ඉන්න සේරටම නම් බොක්කෙන්ම සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් කියනවා ඔන්න - ආයේ මගේ අතින් කියක්වත් යනවා කියලයැ - සේරටම කලින්. ඔය සුභ පතන හැම වෙලාවෙම යකාට මතක් වෙන්නේ බදුල්ලේ ඉද්දි සයිට් එකේ හිටිය සිරා පොරක් ගැන කතාවක්. අද ලිපියටත් ලියන්න ගොඩක් දෙයක් නැති හින්දා  ඒක ගැන ලියලාම දානවා ඔන්න ඔහේ. මිනිහගේ නම විජේපාල. ඒ උණාට කිසිම කෙනෙක් විජේපාල කියන්නේ නෑ. කියන්නේ "රිමෝට්" කියලා. මටත් මාරම අවුල මොන කෙහෙල් මලකට මේ යකාට විජේපාල කියනවාද කියලා. මම දවසක් දෙකක් බලලා බැරිම තැන අපේ ඩ්‍රැවා කෙනෙක්ගෙන් ඇහුවා මොකක්ද මේ සීන් එක කියලා.

 මිනිහාත් කියාපි, "ඕක කියලා වැඩක් නෑ, කරලාම පෙන්නන්නම්  පොඩ්ඩක් ඉන්න මහත්තය" කියලා මට demo එකක්ම දෙන්න හැදුවා. මේ වෙලාවේ විජේපාල ටිකක් ඈත තැනක හිටියේ. 
අපේ ඩ්‍රැවා, "ඒයි රිමෝට්" කියලා කතා කලාට විජේපාල ඔලුව උස්සලා රවලා බලලා වගේ වගක් නැතුව ආපහු වැඩේට බැස්සා. 
"මේ... මෙන්න මහත්තයා උඹට කතා කරනවා" ඒ ගමන මේකා මාවත් අල්ල ගෙන. 
ඒ පාර නම් කර කර හිටපු වැඩේ පැත්තක දාලා මිනිහා අපි ඉන්න පැත්තට ආවා. ටිකක් දුර එන්න ඇරලා අපේ ඩ්‍රැවා "ඔන්න බලාගන්න දැන් කොහොමද වැඩේ" කියලා විජේපාල දිහාට අත දික් කෙරුවා. බුදු අම්මෝ එක පාරටම ගුවනට එකතු වුණු සුමධුර සුභාෂිත පද වැල ගැන ආයේ කතා කරලා වැඩක් නෑ. හැම වෙලේම එන්නේ එකම වචන සෙට් එකක් කියලා තේරුනේ එකම පරීක්ෂණය දෙතුන් වතාවක් කෙරුවට පස්සේ. ඒක මෙතන කියන්න බැරි තරම් සුපේශල හින්දා දාන්න විදියක් නෑ. හැබයි කාගේ හරි පුතෙක් ගැන තමයි කිව්වේ.

www.askedtoleave.net

මෙතන තියන වැදගත්ම දේ තමයි ඇඟට අතක්වත්  තියන්නේ නැතුව අඩි 20ක් 30ක් දුර ඉදලා උණත් මේ පද පේළිය එළියට ගන්න පුළුවන් වෙන එක. රිමෝට් කියන නම ඇවිල්ලා තියෙන්නේ ඒක හින්දා. ආයේ ඉන්න කවුද, තැන කොහෙද දන්නේ නෑ කියලා දානවා මේක. දැන් කට්ටියම බලනවා ඇති මේකත් අපේ හැලප අයියාගේ ලිපියක් වගේ අගක් මුලක් නෑනේ කියලා. පොඩ්ඩක් ඉදාපල්ලා එතනට එන්න හදන්නේ. තම්පලා ගහක් කපන්න කලින් වටේ සුද්ද කරන්න එපාය.  ඉතිං මේ වගේම නත්තලක් ගෙවිලා අලුත් අවුරුද්දක් ලබපු දවසක උදේ පාන්දරම අපේ විජේපාලත් නම ලකුණු කරන්න එද්දී මුණට හම්බෙලා තියෙන්නේ අපේ කලින් හිටපු DGM. හොඳ නෑනේ අලුත් අවුරුද්දනේ කියලා අපේ විජේපාලත් අත් දෙක ලං කරලා සුභ පතන්න හදලා. එතකොටම - හරි හරි ඔය හිතන එක තමයි, රහ කරලා කියන්න දුන්නා නම් - සර්ට පිටිපස්සෙන් හිටපු අසමාජ්ජාතියෙක් සර්ට හොරෙන් විජේපාලට අත දික් කරලා. අළුත් අවුරුද්ද දවසේ ඒ වගේ මධුර වචනයක් සවනට වැටෙද්දී ඇති වන සන්තොසය පොඩ්ඩක් හිතලා බලන්න ආයුබෝවන්ඩ.

dahne1.blogspot.com

එදායින් පස්සේ ටික දවසක් යනකල් විජේපාල සර්ගේ මුණවත් බලලා නෑ. සර් නම් ඒක ගණන් අරගෙන නෑ. මොකද මිනිහාගේ හැටි දන්න හින්දා. අපේ කට්ටිය ඊට පස්සෙවත් මේක නවත්තලා නෑ. කවුරු හරි මිස් කෙනෙක් ළඟ ඉන්න තැනක විජේපාල ඉන්නවා කියන්නේ නිකන් දුන්න ස්වීප් එකක් මුන්ට. ඈත ඉදන් අතක් දික් උණ ගමන් ගෑණු මනුස්සයා ඔෆිස් එක ඇතුළට දුවන්නේ මුණ බිමට හරවාගෙන. කාඩ් එක කුඩු වෙන හින්දා අපි නම් ඒ වගේ වැඩ කරන්න ගියේ නෑ. අනික පවුනේ අර අහිංසකයා - බොරු නෙවේ ඇත්තටම යකෝ කියන්නේ මම නම් කෙරුවේ නෑ 
ඕකේ හොඳම කෑල්ල අහගත්තේ සයිට් එකේ හිටිය TO විජේපාලව මම ඉස්සරහා කතාවට අල්ලා ගත්ත වෙලාවක.
"දැන් ගෙදර ගෑණු මනුස්සයා එහෙම ලඟට එන්නේ නැද්ද බන් එතකොට"
 "ඒකි මට කිට්ටු වෙන්නේ නෑ මට බයයි නේ මහත්තයා"
"එතකොට උඹේ අර ඉන්න පුතා ආවේ කොහොමද බන්?"
"අයියෝ මහත්තයා මේ පොඩි මහත්තයා ඉන්න තැන අහන දේවල් ද ඔය? තාම ඉගෙන ගන්න පොඩි කට්ටියනේ. ඕවා කියලා නරක් කරන්න හොඳ නෑ" - මම කියන්නේ බොරුද? මම පොඩි එකා කියලා -
"අනේ නිකන් හිටපන් බන්. මේ මහත්තයා කැම්පස් එකේ ඉදලා ඇවිල්ලා ඉන්නේ ඔය සේරම දේවල් කරලා තමයි"
ඒ පාර මේකා මගේ චරිතේ කන්න හදනවා.
"ඇත්තටම කියහන් ඉතිං ඔතන ඇඹරෙන්නේ නැතුව"
"අනේ යන්න මහත්තයා යන්න"
"එහෙනම් ඉතිං මමම කියලා දෙන්නද මේ මහත්තයාට එදා මොකද උණේ කියලා?. මේකයි වෙලා තියෙන්නේ. පලවෙනි දවසේ ගෑණි මේකාට ලංවෙන්න හදලා, මේකා ගැනීව මරාගෙන කන්න හදලා. උදේ ගෑණි කියලා තියනවා සේරම අකුලාගෙන ගෙදර යනවා කියලා, මේ විදියට ඉන්න බෑ කියලා. පස්සේ අපේ විජේපාල කරලා තියෙන්නේ දෙවෙනි දවසේ රෑ බාල්කෙට ලණුවක් දාලා අත් දෙක ඇඟට තියලා හොඳට ගැට ගහගෙන. එදා නම් අමාරුවෙන් වගේ මොකක් හරි දෙයක් වෙලා. හැබැයි එළිවෙනකල්ම මේකා දැඟලුවාලු. ගෑණිත් අත ඇරලා නෑ. ආයේ නම් විජේපාල ඒ දේ කරන්න බෑ මයි කියනවා ලු. ඒත් කොහෙමෙන් කොහොම හරි අරුන් දා මාසෙකට සැරයක් වත් ලණුව එළියට ගන්නවාලු"

මේක ගත්ත තැන නම් කියන්න බෑ

"ඇත්තද බන් මේ කතාව?"
"මහත්තයත් ඉගෙන ගත්ත කෙනෙක් වෙලා මේ වගේ කෙප්ප විශ්වාස කරනවානේ" කියලා මිනිහා හෙමීට එතනින් මාරු උණා. ඇත්තටම ඉතිං ඒ වගේ දෙයක් නොකර නම් කාටවත් මිනිහාගේ ඇගට අතක් තියන්න බෑ.
කොහොමත් විජේපාල හිත හොඳ මනුස්සයා. වැඩක් කිව්වොත් කර අරින්නේ නෑ. මම කිව්වොත් දෙයක් කොහොම හරි කරනවා. ඒ මම අර අත දික් කරන්න ගියේ නැති හින්දා වගේම හැන්දෑවට කාඩ් අත්සන් කරන්න මම හිටියොත් වැඩිපුර OT පැයක් දාන හින්දා ද මන්දා.

ඔය ඉන්නේ මනුස්සයා

කතාව නම් එචචරයි. විජේපාල ගැන තව දේවල් නම් තියනවා කියන්න, ඒ වගේම ඒ කාලේ මේ වගේ දේවල් ඕන තරම්. ඒත් ඉතිං එකම දේ දාපුවම ගතියක් නෑනේ. උඩින්ම කිව්වා වගේ බර ලිපියක් එක්ක කලවමට දානවා. එහෙනම් කට්ටියට ආයෙමත් කියනවා,

සුභ නත්තලක්! සුභ අලුත් අවුරුද්දක්!!

Saturday, December 21, 2013

එන්න එන්න පෝලිමේ...


අර කතාවක් තියෙන්නේ වඩුවාගේ ගෙදර පුටු මේස නෑ කියලා. ඒ කියන්නේ ඒකා ඒවාත් විකුණාගෙන හැන්දෑවට කණ මදයා වගේ පැලෙන්න ගහන හින්දා නෙවේ. හදිස්සියක් උණොත් මහා දෙයක්යැ හදා ගන්න එකනේ  කියලා, නිකං ඉන්නවාලු. ආන්න ඒ වගේ පහුගිය ටිකේම හිත හිතා හිටියා සපත්තු දෙකක්, කමිස තුන හතරක්, කලිසමක් දෙකක් තව ටයි පොලු දෙකක් එතකොට බඳ පටියක් වගේ ඔය කියපු දේවල් ටික ටික අර ගන්න. මොකද තව මාස දෙකකින් එළියට යන්න උණාම ඉතිං ඒවා අදින්න පටන් ගන්න එපාය. ඒත් ඉතිං දැම්ම තියා අරං මොනවා කරන්නද කියලා වැඩේ කල් දැම්මා. ඩෙනිමයි බාටා කෑලි දෙකයි ෂර්ට් දෙක තුනක් තිබ්බාම සෙමෙස්ටර් දෙකක් තුනක් ගින්නක් නෑනේ. මොකක් හරි හදිස්සියකට ඕන උණොත් ඉතිං කෑලි කෑලි එකතු කරලා ගොඩ දාගන්න එක තමයි ඉතිං එදා ඉදන්ම කරපු දේ.

යනවා එනවා කියන්නේ මෙහෙමයි අපි නම්

ඔහොම හිටපු අපිටත් ඉතිං හෙනහුරා ලැබුවා ආයුබෝවන්ඩ. අපේ කැම්පස් එකේ, Rotaract Club එකෙන් හැම අවුරුද්දෙම කරනවා වගේ මේ පාරත් සම්මුක පරීක්ෂණ වැඩසටහන තිබ්බ එක තමයි මේ අවුලට හිටියේ. ඉතින් සේරම දාලා ඉතිං ඇඳගෙන යන්න එකක් හොයන්න උණා ඒ පාර. හැම එකාම ඒකට යන හින්දා මේ පාර තමන්ගේ දේවල් තමන්ටම තමයි හොයා ගන්න උණේ. කොහොමින් කොහොම හරි නොකා නොබී සතිය ඇදලා, අඩුම කුඩුම ගත්තට ටයි පොල්ලක් විතරක් අඩුපාඩුවකට තිබ්බා. ඔය අතරේ අපේ එකෙක් ගාව ටයි දෙකක් තියන ආරංචිය ආවා. ඒ ගමන්ම යකා ගිහින් එකක් ඉස්සුවා. කරදර එක පිට එක එනවා කියන්නේ මහා පුදුම විදියට. ඊලඟට බලද්දී ඒ ටයි එකට ළඟ තියන කමිසේ හරි යන්නේ නෑ. ටයි එකයි කමිසෙයි ගලපන විදි හෙණ ගොඩාක් තිබබා අන්තර් ජාලයේ. ඒ ක්‍රම එකකටවත් ගොඩ දාගන්න බෑ. පස්සේ ඉතිං යට ඇදේ ඉන්න එකාගේ තිබ්බ අමතර කමිසයක් - මේකා ඇඳ යට බෑග් එකක දාලා හංගලා තිබ්බේ මේ කමිසේ. ඒවා කොහෙද අපිත් එක්ක - ඔන්න ගැලපෙනවා කියලා හොයා ගත්තා.

මේවා ගැලපෙනවාලු. මම නම් නෙවේ කියන්නේ
www.gq.com

www.sodahead.com
යාන්තම් ඒ ගැටළුව ඉවර වෙද්දී තමයි ඊලඟ ගැටලුව ආවේ. ඒ ගිහින් පෙන්නන්න දෙයක් නෑනේ. අපි ඉතිං ඉස්කෝලේ යන කාලේ සෙල්ලමක් කෙරුවා කියලා යැ. මේකට ආවට පස්සෙත් ඉතිං කරගත්ත දෙයක් නෑ. කිව්වට පිළිගන්න එකක් නෑ, අඩු ගානේ දහම් පාසල් සහතිකයක්වත් නෑ - ගමේ දහම් පාසල් දෙකක් තිබබා. මාරුවෙන් මාරුවට දෙකටම ගියපු හින්දා එකක්වත් විභාගේ කරන්න දුන්නේ නෑ - අර අමතර භාහිර ක්‍රියාකාරකම් වලට කිසිම දෙයක් නෑ. මම ඒ පාර දැම්මේ බ්ලොගක් අටවා ගෙන ඉන්නවා, ඉස්කෝලේ විද්‍යා සංගමයේ ඉන්නවා - ඉස්කෝලේ සේරම ටික එකේ හිටියා - වගේ දේවල්. අපිට අර මහා ලොකු GPA කියන එකවත් නෑනේ ලොකුවට. තිබ්බ එකම දේ ඉතින් අර මිණිය නොහැකි ගුණාංග ගණයට අයිති වෙන ඒවා වගේ ටිකක්. අවසානෙට හැබයි සේරම ටික දාලා CV එකත් කොළ තුනක් පිරෙන්න හදා ගෙන ඒ ලෙවල් පාස් උණා කියලා දීපු සහතිකයි තව මොකක්දෝ එකකුයි අර සහතික දාන එකේ දාගෙන කොල්ලත් ගියා.


www.betadiylol.com

මේක හැම අවුරුද්දෙම මොරටුව කැම්පස් එකේ කරන දෙයක්. විවිධ ආයතන වලින් ඇවිත් අපිව සම්මුඛ පරීක්ෂණයට ලක් කරනවා. තැන් තැන් වල මේස දාගෙන අර සායනයක් වගේ. කොහොම හරි සේරම ආයතන 100 කට කිට්ටු වෙන්න වගේ ඇවිල්ලා හිටියා. එකක් දෙකක් හැරුණාම අනිත් සේරම ඇවිත් හිටියේ ඇත්තටම කට්ටිය බඳවා ගන්න. සිවිල් අපිටත් ආයතන 24 ක් ඇවිත් තිබබා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රබලයෝ වගේම ආයතන කළමනා කරණ තනතුරට බඳවා ගන්නත් අයත් එක්ක.. හැම කෙනාටම ඉල්ලලා තිබ්බ විදිය අනුව වෙන්කරපු ආයතන තුනකට යන්න පුළුවන්. ඒවා ඉවර උණාම වෙනත් ආයතනයකට උණත් යන්න පුළුවන්. කොහොමින් කොහොම හරි යකාත් දීලා තිබ්බ දෙකකටයි, තව වෙන එකකටයි ගියා. 

අර මුලින්ම යන සම්මුඛ පරීක්ෂණය ගොඩාක් වටිනවා කියනවා කියන එක නම් අද හොඳටම තේරුණා. කතාවටත් කියන්නේ Äny day is not a virgin day" කියලා. මොකද පළවෙනි දවසේ ලැබෙන අත්දැකීම ආයේ කවදාවත් ගන්න බෑනේ. සහතික මොනවාද කියලා කිසිම තැනකින් බැලුවේ නැති උණාට, මුලින්ම ගිය තැනට නම්  යකාව ගන්නේ නැතිවෙයි කියලා හිතුණේ සමහරක් අයට පස්සේ ඇවිත් හම්බෙන්න එහෙමත් කියලා තිබ්බට යකාට එහෙම කිසි දෙයක් කිව්වේ නැති හින්දා. ඊට පස්සේ ගිය දෙකේ දී පුහුණුව ගැන අහපු හින්දා යකාට ලකුණු ටිකක් වැටුණා. ඒ හින්දා ඉස්සරහට මොනවා හරි හොඳ දෙයක් වෙයි කියලා පොඩි අහිංසක බලාපොරත්තුවක් නැතුවාමත් නෙවේ. 

හොඳම දේ උණේ කීයක් විතර බලාපොරොත්තු වෙනවාද කියලා අහපු වෙලේ. අපේ සේරම එකම ගානකට කතා වෙලා උදේ ගියේ. ඒ 80ක් විතර ඉල්ලන්න ඕනේ කියලා. සමහර ආයතන මේ ගානට එකඟ වෙලා තිබබත් සමහරක් ඒවා නම් හොඳට පවසලා තිබ්බා ගිහින් තිබුණ අයට. තව සමහරක් ආයතන එක පයින් දෙන්නම් කිව්වත් පස්සේ හොයලා බලද්දී ඇවිත් හිටපු සමහර අයටත් ඒ ගාන හම්බෙන්නේ නෑලු. ඇත්තටම මේක මේ ගොන් කමට ලොකු ගාණක් ඉල්ලුවා නෙවේ. හොදට හිතලා බලලා කතාවෙලා ගත්ත තීරණයක්. අපිට වගේම, අපෙන් පස්සේ එන කණ්ඩායම් වලටත් මේ දේ හින්දා සෙතක් සැලසෙනවා ගොඩාක් වේලාවට. 

I want more 
www.thisismoney.co.uk

මේ වැඩේ හින්දා කොහොම හරි අර සම්මුඛ පරීක්ෂණයට තිබ්බ බය කියන එකත් නැති උණා. ඒ වගේම මෙච්චර කාලයක් ඉගෙන ගත්ත එකේ ප්‍රතිපල ලබන්න ආසන්නයි නේද කියන හැඟීමත් දැන් නම් තියනවා. එළියට යන්නත් කලින් අපිව හොයාගෙන අපි ගාවට එන්න තරම් කාරුණික වෙච්ච ඒ හැම ආයතනයකටම ගොඩාක් ස්තුතියි කියන්නත්, වැඩ සටහන සංවිධානය කරපු අපේම කට්ටියට ස්තුති කරන්නත් එකක්ම තමයි යකා මේ ලිපිය ලිව්වේ.

Tuesday, December 17, 2013

ධාතු - ධාතු

අහලා තියනවාද කතාවක් ධාතු ධාතු එකට ගැලපිලා යනවා කියලා. නැතිවෙන්න නම් විදියක් නෑ. මොකද මේක ගොඩාක් ප්‍රසිද්ධ කතාවක් නේ. අද උඳුවප් පෝය හින්දා - ලියන්න පටන් ගත්තේ පෝය දවසේ. කට්ටිය කියවන්න හදනකොට නම් පෝය ඉවර වෙලා ඇති - පොඩ්ඩක් වෙනස් දෙයක් ලියන්න හිතුණා. අපිට මොන බණද කියලා කියවන එක නවත්තලා දාලා යනවා එහෙම නෙවෙයි දැන්. ආපු එකේ කියවලාම යමු.

ඇත්තටම ධාතු ධාතු එකට යනවා කියන්නේ මොකක්ද? බුදු රජාණන් වහන්සේ නම් දේශනා කෙරුවේ, 

"පින්වත් මහණෙනි, සත්වයන් තව සත්වයන් සමඟ එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ" කියලා. 


ඒ කියන්නේ අසත්පුරුෂයෝ එකටත්, සත් පුරුෂයෝ වෙනමත් තමයි එකතු වෙන්නේ. ඒ කට්ටිය හැම වෙලේම බලන්නේ තම තමන්ගේ විදියට ගැලපෙන අයත් එක්ක එකතු වෙන්න.ශ්‍රී සද්ධර්මය අකාලිකයි කියන්නේ බොරුවට නෙවේනේ. මොකද මේක අද කාලේට හොදටම ගැලපෙනවා. අපි සත් පුරුෂයෝ, අසත් පුරුෂයෝ කතාවට පස්සේ යමුකෝ. මුලින්ම බලමු වෙන වෙන එකට යන කට්ටිය ගැන. 


ඉස්කෝලෙක ඉස්සර පෝලිම් වල ඉන්නේ කවුද? අද කාලේ කොහොමද දන්නේ නෑ. යකා ගිය කාලේ නම් හොදම මීටර් ටික තමයි ඉස්සරහා ඉන්නේ. එතකොට අවසාන පෝලිමේ ඉන්නේ අපත සෙට් එක. වැරදිලා හරි ඒ පැත්තට ඔළුව දැම්මත් කලිසමත් ගලවලා එවන සයිස් එකක් නේ තිබ්බේ. ඒක තමයි ඇත්තටම තියන විදිය. හොදම මීටර් වලට පිටි පස්සේ පේළි හරියන්නේ නෑ වගේම අනිත් සෙට් එකට ඉස්සර පේළි හරියන්නේ නෑ. පේළිය කෙසේ වෙතත් එකේ ඉන්න එකාලා එක්ක උපරිම මල. ඉස්සර ඉන්න සෙට් එක සාමාන්‍යයෙන් "දෙනගමුව" ලා සෙට් එකක් නේ. එතකොට පිටිපස්සේ ඉන්නේ නාහේට අහන්නේ නැති නොසන්ඩාලයෝ ටිකක්. ඉතිං මේ දෙගොල්ල කවදාවත් එකට ගලපන්න හරි අමාරුයි. වැඩක් කරන්න ගියත්, සෙල්ලමකට ගියත් තමන්ගේ සෙට් එකත් එක්ක විතරයි. අන්න ඒකයි කියන්නේ ධාතු ධාතු එකට ගැලපෙනවා කියලා. 


කැම්පස් එකේ උනත් වැඩි වෙනසක් නෑ. ඉස්සරහා පෝලිමේ ඉන්නේ සර් කඩ්ඩෙන් දෙසා බාන ලෙක්චර් එක ඉවර උණාම සර් ගෙන් උගන්නපු පාඩම ගැන තවත් ප්‍රශ්න අහන සෙට් එකක්. එතකොට පිටිපස්සේ ඉන්නේ ලෙක්චර් එක ඉවර වෙනකල් නිදාගන්න, විභාගේට සතියක් විතර වෙනකල් ඒ මොනවාද ඉගැන්නුවේ කියලා දන්නේ නැති සෙට් එක. සමහරක් සර්ලා ඉන්නවා පරක්කු වෙලා ගියපු එවුන් ඉස්සරහින් වාඩි කරවනවා. අන්න එදාට අර අහිංසකයා කට අරගෙන බලාගෙන ඉන්නවා වටේ ඉන්න එවුන් හිටු කියලා නෝට් එක ලියා ගන්න විදිය. ඌට ඒ පරිසරය කීයටවත් අල්ලලා යන්නේ නෑ. මොකද ඒ උගේ ධාතු ස්වභාවය නෙවේ හින්දා. 


වැඩි දෙයක් ඕන නෑ. අපේ බ්ලොග් කරණයේ පවා ඉන්නවා නේ එකට පෑහිලා යන කට්ටිය. එතකොට ඒ මතය දිරවන්නේ නැති අයත් ඉන්නවා ඕන තරම්. අර ධාතු ධාතු එකට යන හින්දා විරුද්ධ ධාතු තියන අය අතරේ ගොඩාක් වෙලාවට ගැටුම් - ගොඩාක් වෙලාවට ඊලඟ පොස්ට් එක දානකල් විතරයි මේ වලි - තමයි ඇති වෙන්නේ. ඒ වෙලාවට තියෙන්නේ කලබල වෙන්නේ නැතුව, මේක මේ ධාතු ස්වභාවය නේ කියලා අත ඇරලා දාන එක.


මේක අවසාන කරන්න කලින් අපි අර  උඩින් කියපු අසත් පුරුෂයෝ සත් පුරුෂයෝ කතාවට ආපහු යමු පොඩ්ඩක්. අසත් පුරුෂයාට කවදාවත් සත් පුරුෂයෝ අතර ඉන්න බෑ. ඒ වගේම තමයි සත් පුරුෂයාටත් අසත් පුරුෂයෝ අතර ඉන්න බෑ. අයින් වෙලා යනවා එතනින්. හැබැයි මෙතන තව දෙයක් වෙන්නත් පුළුවන්. ඒ තමයි තමන්ගේ ධාතු ස්වභාවයට ගැළපෙන අය හොයා ගෙන ගියේ නැතිනම් ටික කාලයක් යද්දී තමන් අර වටේ ඉන්න අයගේ ධාතු ස්වභාවයට හැඩ ගැහෙනවා. ඒ කියන්නේ එපාම කරපු එකෙක් උණත් හොඳ එවුන් අතරේ ඉද්දි ඒකාටත් ටික කාලයක් යද්දී හොඳ වැඩක් කෙරුවට මහා ලොකු අවුලක් නෑ කියලා හිතෙනවා. ඒ වගේම අපත සෙට් එකට වැටුන හොඳ එකෙකුත් ටික දවසක් යද්දී ගන්න දෙයක් නැති වෙන්න පුළුවන්. මොකද ධාතු ධාතු හැමවෙලේම ගැලපෙන්න ඕනේ. නැතිනම් පැවැත්මක් නෑ.

ප/ලි
උඩින් කියලා තියන ධර්ම කාණ්ඩය අර ගත්තේ ඛුද්ධක නිපාතයේ පළමුවෙනි පොත් වහන්සේගේ ඉතිවුත්තක පාළි කොටසට අයිති තික නිපාතයේ තුන්වෙනි වර්ගයේ ධාතු සංසන්දන සුත්‍රයෙන්.


Friday, December 13, 2013

ටිකක් දා ගත්තාම අලියෙක් ආවත් ගහන්නේ නෑ

මහා පොළවත් එක්ක හැප්පෙන මිනිස්සු කියන්නේ කුඹුරක් හේනක් කොටලා ඒ කියන්නේ ජීවත් වෙන අයටනේ. ඔය විදියටම නැතත් ඉදිකිරීමේ ක්ෂේත්‍රය එක්ක ඉන්න අපිත් එක අතකින් මහා පොළව එක්ක, යකඩ කොන්ක්‍රීට් එක්ක හැප්පෙන මිනිස්සු. ඒ හින්දා මේකේ ඉන්න කම්කරුවා ගේ ඉදලා ලොකුම එකා ඒ කියන්න AGM ට යනකල් වැඩි දෙනා පුරුදු වෙලා ඉන්නේ හොදට කන්න බොන්න. කන්න දුන්නේ නැතත් අපිට කමක් නෑ කියලා කියන්නේ කට්ටිය එකතු වෙලා ආතල් තට්ටුවක් දාලා සින්දුවක් කියන වෙලාවට විතරක් නෙවේ. ඇත්තටම බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ කියලා කියන අය තමයි ගොඩාක් ඉන්නේ.


යකා නම් මතින් තොර උණාට බදුල්ල - මහියංගණය පැත්තේ ආයතනික පුහුණුවට ගියාට පස්සේ කන බොන උදවිය එක්කමයි හිටියේ. අපරාදේ කියන්න බෑ සතියක් වත් මොනවා හරි කරන්නේ නැතුව ඉන්න බෑ අපේ සෙට් එකට. RE අයියාත් - Residential Engineer -  මම වගේම අමද්‍යප උණත් පුළුවන් හැම වෙලාවෙම වගේ වෙල්ෆෙයා එකෙන් ගාණක් පාස් කරලා දෙනවා කට්ටියට මොනවා හරි කරගනිල්ලා කියලා. ඒ නැතත් අපේ අයත් කොහොම කොහොම හරි ගාන හොයාගන්නවා ගල් බෝතෙලෙකට. - කොච්චර සල්ලි තිබ්බත් ගල් හැර වෙන දෙයකට නම් කට්ටිය කැමති නැත- යකා  බොන්නේ නැති උණාට හැම වෙලාවෙම එතන හිටපු හින්දා සැන්ටින් එකට ගේන එකෙන් වැඩි හරිය වගේම, ඩයට් එකෙනුත් වැඩි හරිය මගේ බඩට ගියාට එක්කෙවත් වචනයක්වත් කියන්නේ නෑ. කොරළි වැලක් තෙල් දාලා, ලූණු ගෙඩි 2ක් රවුම් කපලා මිරිස් කුඩුයි ලුණු වතුරයි දාලා අනලා, මුරුක්කු පැකට් එකක් කඩලා ගන්න එක තමයි ගොඩාක් වෙලාවට වෙන්නේ. එහෙමත් දවසක ඇපල් ගෙඩියක් ගම්මිරිස් කුඩු දාලා ගන්නවා. ඒ මොකක් උණත් වැඩි හරියට මම දායක වෙනවා ලෝභ නැතුව.

මෙච්චර විගඩම් කරන්නේ නම් නෑ. කරවෙන්න බදිනවා විතරයි

සයිට් එක හදන්න ආපු චීන්නු එහෙම ගියාට පස්සේ දෙයියනේ කියලා අපිත් ඇස්පෝල්ට් - සිංහලෙන් කියන්නේ නම් පෙරමුසු කියලා. අර කාපට් දානවා කියලා දාන්නේ- ගහන්න පටන් ගත්තා. මේක පටන් ගන්නේ රෑ 9 ට 10 ට විතර. එහෙම පටන් ගෙන පාන්දර 2,3 වෙද්දී ලොරි වලට දානවා. එතකොට උදේ පාන්දරම කාපට් දාන තැනට ලොරි කාරයන්ට යන්න පුලුවන්නේ.

මේ දවස් වල ඉතිං ආශ්චර්ය හින්දා දැකලා ඇතිනේ 

 අපි හිටිය සයිට් එක තිබ්බේ  අලි ඉන්න මහා කැලේ. නම තිබ්බෙත් අලි කඳුර කියලා. ඉතිං මහා රෑ කැලේ මැද්දේ කට්ටිය වැඩ කෙරුවාට ඇතුලට ආවට පස්සේ ආයේ සයිට් එකෙන් එළියට යන්නේ නෑ. 
ඔන්න ඔය විදියට මහා රෑ ඇස්පෝල්ට් ගහන්න පටන් ගත්තාම අපේ කට්ටියත් සෙට් වෙන එක පොඩ්ඩක් විතර වැඩි උණා. වෙනදා, "අද බෑ බන්. ගෑණි කන්න බලාගෙන ඉන්නේ " කියලා ගෙදර ගිය එකා උණත්  නයිට් ඩියුටියට එන්නේ "අද නම් දෙමු පුතේ" කියාගෙන හරියට සිංහයෝ වගේ. අපි ප්ලාන්ට් එක හදන ගමන් තමයි ඇස්පෝල්ට් ගහන්න ගත්තේ. ඒ හින්දා ප්ලාන්ට් එකේ ඉදිකිරීම්  වැඩ කරපු අයම තමයි රෑට නයිට් ඩියුටිය අදින්නේ. ඊට පස්සේ පහුවෙනිදා ඉන්නත් ඕනේ හින්දා කට්ටිය සහයෝගයෙන් වැඩ බෙදාගෙන කරන්නේ. ඒත් සෙට් වෙන දවසට නම් ඒ සේරම අමතක කරලා එකාවන්ව ගහලා පහුවෙනිදා සෙට් එකම එකාවන්ව ඇස් ලොකු කරගෙන ඉන්නවා. මම ට්‍රේනින් එකට ආපු එකා හින්දා මට නයිට් ඩියුටියට යන්න ඕන නෑ. ඒත් චමරියට වෙලා ඉන්නවාට වඩා දුවිලි ගොඩේ හරි සෙට් එකත් එක්ක ඉන්න කැමති හින්දා මමත් නාලා කරලා ඉවර වෙලා ආපහු ජීප් එකට නගිනවා. 
මේ වගේ සෙට් වෙච්ච දවසක තමයි මේ කියන දේත් උණේ. එදාත් අපේ අය නැතිවෙන්න ගැහුවා. එදා මම හිතන්නේ වෙල්ෆෙයා එකෙන් ලොකු ගානක් ගලවපු දවසක්. කස්ටිය සෙට් වෙලා, සින්දු කියලා ආතල් අරන් ඉවර වෙන වෙලාවට ඔන්න ඇස්පෝල්ට් බැච් එකත් හරි වගේ. එදා අපේ TO අයියාට පොඩ්ඩක් වැඩි වගේ. පොඩ්ඩක් කිව්වට හොදටම වැඩි වගේ. බැච් එකක් ගහන්න ගත්තට පස්සේ ටිකක් කට්ටියම එහෙට මෙහෙට යනවා. ඉතිං ආතල් එක ඉවර වෙලා කට්ට පටන් ගන්න වෙලාවට මම කරන්නේ ජීප් එකට ගිහින් ඇලට් එකක් දාගෙන ඉන්න එක. කට්ටිය කොහොමත් මට ඒ වෙද්දී නිදා ගන්න කියනවා, මොකද පහුවෙනිදා උදේට ඔළුව උස්සාගන්න බැරි උණොත් ජාමේ බේරා ගන්න එකෙක් ඉන්න ඕනේ හින්දා. 
ඔන්න රෑ දෙකට විතර මාත් එක්ක රූම් එකේ ඉන්න එකා ජීප් එකේ දොරට තට්ටු කරලා අහනවා,
"මචන් උඹ TO අයියා දැක්කා?"  - මේ ද යනු කාරකය හැලීම ගැන කලින් වතාවක කිව්වා ද කොහෙද - මමත් නින්දෙන් නැගිටලා, 
"අඩේ දැක්කේ නම් නෑ බන්. මම එද්දී උඹලත් එක්ක හිටියනේ".
"නෑ බන් උඹ ගිහින් ටික වෙලාවකට පස්සේ මොනවද කිය කියා මේ පැත්තට ආවා වගේ දැක්කා. දැන් හොයා ගන්න බෑ. වරෙන් ටිකක් බලන්න යන්න"
මට ඉතිං මල එකේ හොදම එක. මොනවා කරන්නද කියලා ඉතිං නැගිටලා ගියා මාත්. මම යද්දී අනිත් අය වැඩ පටන් ගෙන. අපේ සෙට් එකේ සේරමයි, ලොරි කාරයෝ ටිකයි වැඩ කරන සේරමයි මිනිහාව හොයන මෙහෙයුමට බැහැලා. මුලු සයිට් එකම පීරලා බැලුවත් ලකුණක් වත් නෑ. අක්කර 3 ක් පට්ට කළුවරේ හොයනවා කියන්නේ ආයුබෝවන්ඩ සෙල්ලම් වැඩක් නෙවේනේ.

මේ පොඩි කෑල්ලක් විතරයි

 එතකොට තමයි අපේ මුර අංකල් කිව්වේ පාර පැත්තට වත් ගියාද දන්නේ නෑ කියලා. ඒක අහද්දී නම් මගේ ඇගත් හිරි වැටුණා. මොකද අපේ සයිට් එකට පාර වැටිලා තියන්නේ අර කලින් කියාපු අලි යන එන පාරේ. ඒක රෑට විතරක් නෙවේ දවල්ට උණත් පට්ට කළුවරයි.

සයිට් එකට යන පාර

කෙලින්ම යන්නේ කැලේ මැදින්

උදේ පාන්දර යද්දී අනන්තවත් අලි බෙටි පාර දිගට තියනවා. ඒ මදිවට රෑට වැඩ කරන්නේ නැති දවස් වලට ප්ලාන්ට් එක වටේ කැරකිලා යනවා කියලා මුර කරන්න එන අය දෙතුන් වතාවක්ම කියලත් තිබ්බා. අනික තමයි මේ TO අයියාගේ පවුලට පොඩි එකා හම්බෙලත් වැඩි කාලයක් නෑ. කාලකන්ණි කමට මගේ ඔළුවට එක පාරටම ආවේ ඒක. මුන් වීරයෝ වගේ බීලා පිස්සු නටනවා. දුක් විදින්න වෙන්නේ අර අසරණ මිනිස්සුන්ට.

අපි 7,8 දෙනෙක් පාර පැත්තට යන්න ලෑස්ති උණා. එතකොට ජීප් එකේ ඩ්‍රයිවර් අයියා,
"පයින් නම් යන්න එපා මහත්තයෝ. ආයේ තව කරදරයක් උණොත්. යමු සේරම ජීප් එකේ" කියලා අපිවත් දාගෙන ජීප් එක හරවලා ගත්තා. මේක කියවන කොට කට්ටියට හිතෙනවා ඇති මේක මහා බොරු හුඹස් බයක් නේ කියලා. ඇත්ත කතාව තමයි  ඒ පැත්තේ ඉන්න කවුරුවත් අලියා කියන්නේ විහිළුවට ගන්නේ නෑ. කවදාවත් වීරයෝ වෙන්න යන්නෙත් නෑ අලි ගාවදි. මඟ ඇරලා යනවා මිසක්.
ඉතිං අපි ජීප් එකේ පාරට යනකල්ම ගිහිල්ලා ආවා දෙපැත්තම බලාගෙන. ඒත් ඉන්න පුළුටක් වත් නෑ. ආපහු සයිට් එකට ජීප් එක හරවලා මොකක්ද කරන්නේ කියලා කට්ටිය කල්පනා කරා. නැති වෙච්ච මනුස්සයෙක් නේ. ඉතිං  හොයන්නේ නැතුව ඉන්නත් බෑ. ඒ හින්දා ඕන මඟුලක් වෙන්න කියලා අපි ආපහු පයින් ගිහින් තව පාරක් බලමු කියලා ටෝච් එකත් අරන් අපි සෙට් එක යන්න හැදුවේ පාර පැත්තට. එතකොට ඔන්න බැචින් ප්ලාන්ට් එක උඩ ඉදන් වැඩ කරන කෙනෙක් කෑ ගැහුවා, 
"මෙන්න මහත්තයා ඉන්නවෝ මේක උඩ" කියලා. 
ගිහින් බලද්දී ඇත්තටම මෙන්න හොදට මිනිහා අපතයා පොළවේ ගැහුවා වගේ නිදි. 
දැන් ඉතිං අහන්න පුළුවන් සේරම මොන අහවල් දේකටද මුලින්ම  ඒක උඩ හෙව්වේ නැත්තේ කියලා. පලවෙනි කාරණේ තමයි ඒකට නගිනවා  දවාලක  උණත් ඉනිමඟක නගිනවා වගේ පරිස්සමට නගින්න ඕනේ හින්දා .අනික තමයි බැච් ගහන්න පටන් ගත්තට පස්සේ ඒ පැත්තේ යන්න පුළුවන් වෙන්නේ අර ගිණි නිවන මිනිස්සු වගේ දඩාර ඇදුමක් දා ගෙන. දුවිලි වාකාරේ. ඒ හින්දා වැඩ කරන අය හැරෙන්න වෙන කිසිම කෙනෙක් ඇස්පෝල්ට් ගහන වෙලාවට යන්නේ නෑ ඒ හරියට. අර මනුස්සයා ගිහින් තියන්නෙත් වැඩ නවත්තපු වෙලේ ග්‍රීස් ටිකක් දාන්න. දුවිල්ල වගේම රත්වෙනවාත් වැඩි හින්දා නිතරම වගේ ග්‍රීස් දාන්න වෙනවා. ඒ දැක්කේ නැත්තම් අපිට TO අයියාව හම්බවෙන්නේ පහුවෙනිදා උදේ.

රතු පාටින් පෙන්නලා තියෙන්නේ නිදා ගන්න තැන

හොදම වැඩේ කියන්නේ අමාරුවෙන් නැගිට්ටවලා පහලට ගන්න යනකොට ඇඟ පුරාම දුවිලි නාගෙන හිටපු අයියා කියපු කතාව.
"මට හරි රස්නියයි වගේ දැනුනා බන්. ඒ හින්දා ටිකක් හුළං වදින්න මෙතනට ආවා. සනීපෙට එතනම වතිරුනා වගේ මතකයි. "

Tuesday, December 10, 2013

අපි හෙළුවෙන්. ඇවිත් බලපල්ලා



Breaking Bad කියලා පහුගිය දවස් ටිකේ ඉවර උණු නියම රුපවාහිනි කතා මාලාවක් තිබබා. අපේ කැම්පස් එකෙත් ගොඩක් එවුන් දත කට මැදගෙන ඒක බැලුවා. කාල වේලාව ගැටලුවක් උණේ නැති නම් මේ වෙද්දී යකාත් ඒක බලලා හමාර කරලා ඉවරයි. ඒ වගේම ඒක අවුරුදු 4ක් හොදම රුපවාහිනි කතා මාලාව විදියට තේරුණා. මෙච්චර වැදගත් කතා මාලාවේ හරය මොකක්ද කියලා පොඩ්ඩක් බැලුවොත් තමයි කාට කාටත් තරු පේන්නේ. ඒකෙ තියෙන්නේ Methamphetamine කියන මත් ද්‍රව්‍ය හදන රසායන විද්‍යා ගුරුවරයෙක් ගැන. මේකෙන් පස්සේ මත් ද්‍රව්‍ය ගැන ආකල්පය ලෝකේ පුරා සෑහෙන්න වෙනස් උණා. ඒක ගැන පස්සේ වෙනම ලිපියකින් කියන්න ඕන. දැනට එක කතාවක් විතරක් කියන්නම්. මගේ යාලුවෙක් ඉන්නවා. මිනිහා මේ කතාව බලලා මට කියපු දේ තමයි,
"මචං මමත් එක පාරක් හරි 'මෙත්' - ඉහලින් විස්තර කල මත් ද්‍රව්‍ය - ගහනවා. වෙන දෙයක් හින්දා නෙවේ Breaking Bad එක වෙනුවෙන්"
 ඒකා කියන දෙයක් අහන්නේ නැති එකෙක් හින්දා මම මොනවත් කියන්න ගියේ නැතිය. මොන ලෝකෙන් හරි ඕක ගහලාම තමයි මිනිහා නවතින්නේ. ඒ අපි ආදරය කරන, දකින්න අහන්න ලැබෙන දේවල් වල වැරදි අපි අපේ ජිවිතේට එකතු කරගන්න විදිය.



ඊලඟ කතාව හුඟාක් ප්‍රසිද්ධය. හැමෝම දන්නා එකකි. ඒ හින්දා ඒ ගැන ලොකුවට කියන්න යන්නේ නැත. නම සීතාම්බර පට වස්ත්‍රය වේ. රජා හෙළුවෙන් පාරේ ගිය විට වටේ ඉන්න එවුන්, "අනේ උඹ හෙළුවෙන්" කියා කිව්වේ නැත. "නියම වස්තරය රජෝ" කිය කියා කෑ ගසා ආ වැඩුවේ උන්ගේ පණ්ඩිත කම පෙන්වන්නටය. අඩු ගණනේ ඇත්ත කියලා චාටර් වෙනවට රෙදි ටිකක් අපුල්ලා දීලා බඩ පුරවා ගන්නටය. ඒක නිසා ඒ ගෝලයන් අත ඒ හැටි දොසක් නැත. 

දැන් අනිත් කතාව. අපිටම කියලා දැන් සින්ඩියක් තියනවා. ඒ හින්දා කවුරුවත් ආවේ නැති blog වලට පවා දැන් දැන් ටික දෙනෙක් එනවා යනවා. ඒකට උපාකාරයක් විදියට පහුගිය ටිකේ දන්න අදුරන එවුන් සේරටම කියලා පොඩි ප්‍රචාරයක් දෙන්න ට්‍රයි එකක් දුන්නා. ඒත් කරුමෙට ගොඩාක් එවුන්ට බ්ලොගක් නැත. සමහරක් එවුන් ඒ මොකක්ද කියලා දන්නේ වත් නැත. එහෙම උන්ට අමුතුවෙන් ඒ ගැන කියලා දෙන්නත් උණා. යකාත් මේකට අලුත් නිසා මහා ලොකු බ්ලොග් ගොඩක් රෝලේ නැත. ඇත්තේ හෙන පොඩි ගානකි. බ්ලොග් ගැන කියා දෙන්න ගිය වෙලාවක, ඕකේ තිබ්බ එක ලිපියක් දැක්ක එකෙක් "අප්පට සිරි යකෝ මේ අරවානේ" යැයි කිවේය. අරවා යනු සිංහල සාහිත්‍යයේ කිඩාරම් මල් නිසා ඒ ගැන යකා අමුතුවෙන් කියන්න යන්නේ නැත. මෙතන දී යකාට පොඩි ගැටළුවක් මතු වේ. කැම්පස් වල ඉන්නේ පොඩි එවුන් නොවන වග අවසාන අවුරුද්දේ ඉන්න යකා හොද හැටි දනිමි. එහෙමයි කියා අමු තිත්ත කුණුහරුපයක් බලාපිය කියා වටේ ඉන්න එවුන්ට කීමට යකාට බැරිය. එකක් දෙකක් නරක උණාට අනිත් වා සියල්ල වටින බව ඇත්ත උණත්, ඒ බහුතරය පවා අර නරකය අනුමත කර ඇති නිසා - අඩු තරමේ ඒ විදියට පේන නිසා - යකාට ඒ වෙනුවෙන් කඩේ යාමටද නොහැක. ඒ නිසා බලන එකෙක් බලාගනිල්ලා. ලියන එකෙක් ලියා ගනිල්ලා කියා යකා තමන්ගේ පාඩුවේ ලියා ගෙන යන්ට හිත හදා ගත්තා.



දැන් මේ සේරම මගින් අපිට දෙන නිගමනය. 
මිනිහෙක් උණාම ලජ්ජා බය දෙක තිබිය යුතුය. එයට දේව ධර්මය කියා කියන්නේ ඒ දෙක ඇති විට යහපත් සමාජයක් ඇති වන නිසාය. ඒ කියන්නේ පව් කිරීමට ලජ්ජා වෙන්නත් විපාකයට බය වෙන්නත් ඕනෑ වේ. මේ ලෝකේ මිනිහෙක් අතින් වරදක් වෙන්න ඕනා තරම් ඉඩ ඇත. ඒත් හිතා මතා වරදක් කිරීම අනුමත කල නොහැක. වරදක් කිරීමට සිතට එන විට ඔහු ඒ වරද නිසා ඇතිවන අවමානයට ලජ්ජා විය යුතුය. 
"අනේ මගේ ළමයි, බිරිඳ, දෙමව්පියෝ දුක් වෙයිනේ මම මේ දේ කලොත්"
"මගේ යාලුවෝ ආයේ මුණවත් බලන එකක් නැනේ"
නමුත් අවාසනාවට,
"නියම වැඩක් බන්"
"ඔහොම තමයි ඉන්න ඕනේ"
කිය කියා එය අනුමත කරන සමාජයක ඔහු තව තවත් වීරයෙක් වනවා මිස ලජ්ජා වට පත් වී එම වරද හදා ගන්නේ නැත. සීතාම්බර පට වස්තරය කතාවේ තමන්ගේ බඩ ගැන හිතා කඩේ ගියාට, එහෙමත් නැතිනම් පණ්ඩිත කම ආරක්ෂා කර ගැනීමට කඩේ ගියාට; මෙවන් අවස්තාවක වරදක් යැයි දැක දැකත් කට පියාගෙන ඉන්නේ යාලුවා නිසා විය හැක. අනික පුද්ගලයා වශෙයන් ඉතා හොඳ නිසා විය හැක. එහෙත් යකාගේ අදහස සිංහල බ්ලොග් කරණයේ සැලකිය යුතු බලපෑමක් කලහැකි අය මේ විදියට හැසිරීම ඉතා භයානක බවය. පරමාදර්ශී වීම අවශ්‍ය නැත. එහෙත් විෂමාදර්ශි නොවී සිටිය හැක. එවිට,
"අප්පට සිරි අන්න අරකා හෙළුවෙන් ඉන්නවා, නියම වැඩේ බන්. උඹ තමයි වීරයා. මෙච්චර කාලයක් කාටවත් එහෙම බැරි උණා නොවැ" කිය කියා ප්‍රසිද්ධියේ තබා රහසින්වත් කීව යුතු නැති අශ්ශීල කතා වර්ණනා කිරීම නවතිනු ඇත. 
අවසාන වතාවට කියන්න දෙයක් තියනවා. අපි වරදක් කියන්න ඕනේ අපි ආදරය කරන අයට. නැතුව කොහෙවත් ඉන්න කාටවත් නෙවේ.

Friday, December 6, 2013

අනිත් එවුන් කරන දේවල්

            ඔන්න දන්නෙම නැතුව නත්තලත් ඇවිල්ලා. වෙනදා නම් ඕක දැනෙන්නේ කතෝලික සංගමයේ සෙට් එක ගොඩ කැන්ටින් එකේ පාට පාට දිලිසෙන බෝල එල්ලපුවාම. අම්මට සිරි යකෝ නත්තල් ඇවිල්ලනේ කියලා. හැබැයි මෙදා පාර නම් ටිකක් කලින්ම දැනුණා. ඒ වෙන දෙයක් හින්දා නෙවේ, කණ කරේ තියාගෙන බලපු - දැන් අහන්න එපා කණ කරේ තියාගෙන බලනවා කියන්නේ මොකක්ද කියලා. මම දන්නෙත් නෑ, මොකක් හරි එකක් වෙන්න ඇති ඔහේ - ටීවී සීරීස් ටික එන එක නැවතුණා. හොයලා බලද්දී ඒ Winter Break එකලු. නත්තලට කලින් සැන්ටා ට එන්න ඉඩ දීලා කට්ටිය පොඩි විවේකයක් ගන්නවාලු.


              යකා නම් සිංහල බෞද්ධයා උණාට නත්තලට අමනාපයක් නෑ පොඩ්ඩක්වත්. උඩ ගෙදර කට්ටියම ක්‍රිස්තියානි පවුලක් හින්දා පොඩි කාලේ ඉදන්ම නත්තල් දවස් ටිකේ යකා ඒ පැත්තේ ලැගුම් ගන්නවා. නත්තල් ගහ සරසන්න එහෙමත් පොඩි පොඩි උදව් දුන්නාද කොහේද. නත්තල් දවසේ උදේම ගෙදරට ලොකු කෑම පිගානක් - අපි අවුරුද්දට දෙනවා වගේ මහ පත පිගානක් පුරවලා, කැවුම්, කේක්, කෙසෙල් - අරන් ගෙදරට එන උඩ ගෙදර මාමා, අපේ තාත්තාට පැත්තකට එන්න කියලා මොනවාද මන්දා කුටු කුටු ගානවා. ඉතිං හැන්දෑ කොරේ තාත්තා, මායි අයියයි එක්කරගෙන නිල වශයෙන් ඒ පැත්තට ගොඩ වෙලා, හිතේ හැටියට නත්තල භුක්ති විදපල්ලා කියලා  කාමරයකට වදිනවා.

පස්සේ තමයි දන්නේ වැඩේ මේක කියලා

      ඒ වගේම එදා රෑ මුලු ගම වටේම ඇවිදින කැරොල් කණ්ඩායම කෑ ගහන සද්දෙට අපිත් නිදි මත පෙර පෙරා ගිහින් කැරොල් බලනවා.ඒ පොඩි කාලේ වෙච්ච දේවල්. දැන් උඩ ගෙදර මාමා නැති වෙලා. කැරොල් කණ්ඩායම එනවාද දන්නේ නෑ. - යකා මතක ඇති කාලේක නත්තලට ගෙදර ඉද නැත - ඒත් තවමත් කැරොල් කාණ්ඩයක් බලන්න නම්  පට්ටම ආසයි. 
    ඒ කාලේ ගමේ පල්ලියේ නත්තල් නාට්‍යය තියන කොට අපිත් වෙලෙන් එගොඩට පැන ක්‍රිස්තියානි බෞද්ධ බේදයක් නැතුව හුරේ දානවා. නත්තල් සීයාත් බෙදන හැම අටමගලම හැම පොඩි එකාටම දීලා දානවා. ඔය නත්තල් සියා ගැන කියද්දී යකාට කතාවක් මතක් වෙනවා. ඒක අපේ ගමේ වෙච්ච එකක් නම් නෙවේද කොහෙද. කොහේ උණාම අපිට මොකද ආයුබෝවන්ඩ කතාව අහමුකෝ.

       ගමක නත්තල් උත්සවයක නත්තල් පප්පා විදියට ඇඳ ගත්ත සෙට් එකක් ඔන්න නැටුමකට සෙට් උණාලු. එක්කෙනක් උඩට ගිහින් සින්දුවක පදයක් කියලා බැලුම් දෙකක් බැදගත්ත අර ලීය හොලවලා රවුමක් නටලා බැහලා යනවා. ඊට පස්සේ අනිත් කෙනා ඊලඟ පදය කියන්න උඩට යනවා. අර විදියටම  රවුමක් නටලා බැහලා යනවා. ඕක ඔය විදියට හරි අපුරුවට යන්න තියෙද්දී එක හාදයෙක් සින්දුවේ මිනිහගේ පදය කියලා, ඊට පස්සේ පදයත් කියලා රවුමක් නටලා ගියාලු. දැන් පස්සේ උඩට යන එකාට කියන්න දෙයක් නෑලු. මිනිහා නිකම්ම් බැලුම් බොල දෙක වනවලා රවුමක් නටලා ගියාලු. කලින් යන එකා ගිහින් කරන දේ හින්දා පිටිපස්සෙන් යන  එවුන් අනාථ වෙනවා කියන්නේ ඕකට තමයි.


    පොඩි කාලේ  ඉස්කෝලේ වාර අවසානේ ප්‍රගති වාර්තා පොත ගන්න යද්දී එක බූරුවෙක් දණ ගහලා වැන්දොත් අනිත් එවුන්ටත් ඒ දුවිලි ගොඩේම දණ ගහන්න වෙන්නෙත් ඕක හින්දා. වාරයක් අවසානේ ගුරුතුමාට වැඳලා  වාර්තා පොත ගන්න එකට අවුලක් නැති උණාට, අර මුලින්ම වැඳ වැටුණු එකා පංතියේම හොඳම ළමයා කියලා එදා ඉදන් කියවන එක නම් ඒ හැටි දිරවන්නේ නෑ. ඕකේ හොදම එක තියෙන්නේ පළාත් හරි කොට්ඨාශ තරඟයකට ගියාම අනිත් පාසලක් අපිට කලින් සහතික ගද්දී උන්ට වදින්න අමතක උණාම. එදාට තමයි පන්සලේ හාමුදුරුවන්ටත් වදින්නේ නැති අපේ එවුන් පසඟ පිහිටුවලා වදින්නේ. ඒ වේලාවට කලින් ගිය එවුන්ගේ මූණු දෙල් ගෙඩි ගානට දම් වෙලා. නෑ වැරදුණා. ඒ ගානට ඉදිමිලා. ඒ මදිවට පස්සේ එන එවුන්ට වෙන කරන්න දේකුත් නෑ. අපේ අම්මලා මතක් කර කර උනුත් ඉතිං ගිහින් වදිනවා පෝලිමේ. අන්න ඒ විදියට තමයි අපි ඒ කාලේ පාසලේ නම තිබ්බේ.

වදිනවා නම් ඔන්න වැදිලි


        ඔය විදියේ ම සිද්දියක් අද ගෙදර එනගමන් ට්‍රේන් එකෙත් උණා. කොහොමත් යකා ඕන ගමනක් යද්දී හොඳට නිදාගෙන යන්නේ. - මේ නිදා ගැනීම ගැන වෙනම ලිපියක් දාන්න ඉන්නේ හෙට අනිද්දා දිහාට - ඉතිං අදත් හොඳ නින්දක් නිදාගෙන පොල්ගහවෙල හරියෙන් ඇහැරුණාම කොළ ඇපල් කාරයෙක් කෑ ගහනවා. විස්සට කපලා දෙනවා කිය කියා. මේ විදියට විකුනන ඇපල් කන්න හොඳ නෑ කියලා තිබ්බට කොළ පාට ඇපල් මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් දාලා කපලා දෙද්දී මොකාටද ඉන්න පුළුවන්.  මේක ගල් ගහද්දි බයිට් එකට විතරක් නෙවේ නිදිමත වේලාවට එහෙමත් නියම කෑම. - යකා ගල් ගසා නැති නමුත් ගල් ගසන තැන බයිට් ඉවර කරන එකෙක්ය- මම ඉදගෙන හිටියේ අර මුණේන් මුණ බලාගෙන 6 දෙනෙක් යන සීට් එකක. අනිත් එවුන් අරක නිකං මහා නරක දෙයක් ගානට අහක බලාගෙන ඉන්නවා. මම ඕන දෙයක් කියලා ඇපල් ගෙඩියක් ගත්තා. මෙන්න බොලේ අනිත් එවුනුත් එකා දෙන්නා සාක්කුවට අතදානවා. මටත් එකක් කිය කියා.

කොහොමද ලුණු කුඩු මිරිස් කුඩු ටිකක් ඉහලා ගත්තම?


ඔන්න ඕක තමයි හැටි අපේ. මුලින්ම දෙයක් කරන්න බයයි. අනිත් එකා කරනකල් බලාගෙන ඉන්නවා. 

ප/ලි
ඇපල් ගෙඩියනම් හොඳට තිබබා. කුණු ගොඩකින් පන්නපු එකක් නම් නෙවේ වගේ. 
ප/ප/ලි
නත්තල ගැන දැන්ම සේරම ලියන්න ඕන නෑනේ. තව දවස් කීයක් තියනවාද? එතකොට ලියන්න තියා ගන්නත් එපාය.