Tuesday, June 11, 2013

ප්‍රශ්න නැති මිනිස්සු

            මේ ලෝකේ කොහෙද ප්‍රශ්න නැති මිනිස්සු ඉන්නේ. ඔළුව බර වෙන්න බර වෙලා බිමට පාත් වෙන්නම හැම කෙනාටම අඩු වැඩි වශයෙන් ප්‍රශ්න. ප්‍රශ්න නැත්තේ නිකෙලෙස් මුනිවරයෙකුට විතරයි. ඒ සියලු සංයෝජන ප්‍රහාණය කරලා ගැටීම් වලින් නිදහස් හින්දා. ඒ හැර අනිත් හැමෝම ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නේ.

                    මේ කියන්න යන්නේ ඒ විදියේ අය ගැන නෙවෙයි. වෙන කට්ටියක් ගැන. අපි කාගෙන් හරි ප්‍රශ්නයක් අහනවා නම් ඒක අහද්දී විශේෂයෙන්ම අගට "ද" අකුරක් එකතු කරනවා. ඒක අපේ සිංහල භාෂාවේ තියන අනන්‍යතාවය. ලියන භාෂාවෙන් අදහස් ඉදිරිපත් කරද්දී ඒක ගොඩක් වැදගත් වෙනවා.
            හැබැයි එහෙම භාවිතා කරන ප්‍රදේශත් මේ ලංකාවේ තියනවා. බලන්ගොඩින් එහාට වෙන්න, මහියංගණයෙන් මෙහාට වෙන්න බදුල්ල, බණ්ඩාරවෙල වගේ පැති වෙල අය කට වහරේදී "ද" අකුරක් භාවිතා කරන්නේ නෑ.
  "ඔයා බත් කෑවා ද?"
  "අද එහෙ යනවා ද?"
වගේ ප්‍රශ්න එයාලා අහන්නේ
  "ඔයා බත් කෑවා...?"
   "අද එහෙ යනවා...?" 
විදියට අවසානයේ ඇදලා කියලා. මේක ඒ විදියට කියන්න වෙන කාටවත්ම බෑ. ඒ පැත්තේ කෙනෙකුට හැරුනාම
                 ලංකාවේ එක එක පැති වල භාෂාව මද වශයෙන් වෙනස් කියලා හැමෝම දන්න එකක් නේ. ඒ හින්දා ඒක ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑ. එහෙම වෙනස් භාෂාවන් තියන අය එකිනෙකට මිශ්‍ර වන ප්‍රධානම තැන තමයි විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන. එතකොට අනිත් කෙනා ගේ ප්‍රතිරූපය ගැන හිතන්න ඕනේ කියලා එකක් නෑ. ඕන එකක් කියන්න පුළුවන්. ඒ හින්දා කුරුණෑගල පොල් ලෙලි ගහන අයත් එක්ක ගඟෙන් එහා පොල් ඔයන අය විහිළු කරගන්නවා. උඩරට අය යන්න වෙනුවට යන්ට කියන එකට විහිළු කරනවා.විශ්ව විද්‍යාල උප සංස්කෘතිය ඇතුලේ ඒක පොදු විනෝදාත්මක කාරණයක් .
             හැබැයි මට කැම්පස් එකේ අවුරුදු 3ක් ඉදලා බදුල්ලේ අයගේ මේ කතා විලාශය අහුවෙලා තිබ්බේ නෑ. මුලින්ම මහියංගණේ ගිය කාලේ තමයි ඕක දැනුනේ. අහපු මුල් දවස් වල දි නම් ඒකට හොදටම හිනා ගියා. පස්සේ පස්සේ තමයි ඉවසගෙන ඉන්න පුළුවන් උණේ.
          හැබයි එක දෙයක් කියන්න තියනවා. ඒ පැති වල ඉන්න මිනිස්සුන්ට ඇත්තටම ප්‍රශ්න ගොඩක් තියනවා. ඒත් ඒ ප්‍රශ්න මැද උණත් ලංකාවේ අනිත් පැති වලට වඩා සුන්දර හදවත් තියා ගෙන ඉන්න එයාලට පුළුවන් වෙලා තියනවා.