Sunday, May 12, 2013

මහියංගණයේ පුහුණුවට ගිය හැටි

           කරන්නම් කියලා පටන් ගත්තට ඇදගෙන යද්දී තමයි තේරෙන්නේ මේකත් හිතන තරම් ලේසි දෙයක් නෙවේ කියලා. වෙන හැමදේකටම වෙලාවක් තිබ්බට මේක ලියන්න පටන් ගද්දි තමයි හැම දෙයක්ම මතක් වෙන්නේ. ඉතිං එතකොට මේක නවත්තලා යන්න හිතෙනවා ඒ වැඩ වලට. ඒත් අත අරින්න නම් හිතක් නෑ. කොහොම හරි ඇදගෙන යන්න තමයි බලන්නේ.
            අපි කොහොමත් කැම්පස් එක ඇතුලටම වෙලා ඉන්න අයනේ. ඉතිං ඒ අත් දැකීමෙන් මිදිලා මුලින්ම රටේ ලෝකෙට කල එළි බහින අවස්තාව තමයි ආයතනික පුහුණුවට යන මාස 6 කාලය. මෙච්චරක් කල් පොතෙන් ඉගෙන ගන්න දේවල් කොහොමද ඇත්ත ජීවිතයේදී යොදා ගන්නේ කියන එක එකේ දි ඉගෙන ගන්න ලැබෙනවා කියලා තමයි කියන්නේ. ( වැරදිලා වත් ඉගෙන ගත්ත කිසිම දෙයක් පුහුණු වන කාලය ඇතුලෙදි හම්බුණේ නැති එක වෙනම කතාවක්. )
             එහෙම පුහුණු වන අපි (පොඩි කාලේ මට මතකයි අපේ අම්මා ගාව තිබබා ඉංග්‍රීසි පොතක්. එකේ නම පුහුණු වන වෘක්කයෝ කියලා. මට ඕක කියවෙන්නෙම පුහුණු වන වෘකයෝ කියලා. මට හරියටම මතක නෑ ඒක වෘක්කයෝ කියන වචනයමද කියලා. කොහොමත් ඒ ළගින් යන එකක්) වැටුණේ බදුල්ලට. අනිත් අය කොළඹ අවට වැටෙද්දී අපි විතරක් වැටුණේ ගෙදරින් ගොඩක් ඈතට. ඒක උනේ මොකද කියලා දවසක වෙනම කියන්න ඕනේ කතාවක්.
            බදුල්ලට කිව්වට එතනින් සතියකට පස්සේ මම දැම්මා මහියංගණේ පෙර මුසු නිෂ්පාදනාගාරයක් හදන තැනකට. මම හිතන්නේ මගේ ජිවිතයේ ලබපු සතුටුම කාලයක් තමයි ඒ කාලය. හිටියේ මාස දෙකක් වගේ පොඩි කාලයක් උණාට ඒ ටික කාලයට ලබපු අත්දැකීම් නම් කියලා ඉවර කරන්න බෑ.


           අලි ගහනවා කියලා අහලා තිබබා මිසක් ඒ සිද්දිය අත්විදින්න ඇත්තටම හම්බෙයි කියලා නිකමටවත් හිතලා තිබ්බේ නෑ. මාපාකඩ වැව කියන හරියේ තමයි අපි නතර වෙලා හිටියේ. එතන ඉදන් සයිට් එකට තියනවා කිලෝ මීටර් 4 ක් විතර. මාපාකඩ හන්දිය හරියේ ටිකක් ජනාවාස වෙලා තිබබ්ට ඉතුරු සේරම මයිල, කෝන් ගස් පිරිච්ච, ඒත් එක්කම කටු පදුරු හැදිලා තිබ්බ කැලේ. ඒ හරියේ අලි ඉන්නවා කියන එක පුදුමයක් නෙවේ. මම හිතන්නේ රන්දෙණිගල, රන්ටැඹේ රක්ෂිත වල ඉන්න අලි වෙන්න ඕනේ ඒ පැත්තට එලි බහින්නේ.
          රෑට රැහැයියෝ කෑ ගහනවා ඇහිලා තිබ්බට දවල්ටත් උන්ගේ සද්දේ ඇහෙනවා කියන එක මුලින්ම තේරුණේ එහෙ ඉද්දී. සයිට් එක වට කරලා තිබ්බ කැලේ ගහක් ගහක් ගානේ උන් වහලා ඉදගෙන කෑ ගහනවා. (කෑ ගහනවා කිව්වේ කට වහරේ කියන හින්දා) ඒක ඇහුනාම දවල්ට උණත් මොකක්දෝ හැගීමක් දැනෙනවා.
             ඕනෑම වැඩ පොලක ආරක්ෂාවට මුර කාරයෙක් දෙන්නෙක් දානවා වගේම අපේ සයිට් එකෙත් දාලා හිටියා එහෙම දෙන්නෙක්. කොහොමත් වැඩ පලේ සේරම අය කලින් ඉදන් ඉන්න නිලධාරීන්ට වඩා අපිත් එක්ක එකතුයි. ඒ අපි පොඩ්ඩ වැරදුනත් ඇගට කඩා පනින්නේ නැතුවා වගේම වැඩක් කරද්දී පස්සෙන් පන්නන්නේ නෑ. ඒ වගේම අපි වගේ හය හතරක් නොදන්න කිරි සප්පයෝ - සී දේවි මහත්තයන් ලා ( මට කියපු ඒවා තමයි) ගැන කැක්කුමක් ඒ පපුවල තිබ්බ ද මන්දා.
        "මේකට කියන්නේ මහත්තයෝ අලි කදුර. රෑ රාත්‍රියේ උන් ගමන් යන්නේ මේ ඉසව්වෙන්. මේක අටවපු දවසේ ඉදන් උන්ට යන එන එක අවහිරයි. ඉතිං මේ ඉසව්වේ කරක් ගහලා යනවා හැම දාම. තාම මොකක්වත් කෙරුවේ නම් නෑ. අපි උණත් රෑට දැක්කම මඟ ඇරලා යනවා මිසක් සද්දයක් වත් දාන්න යන්නේ නෑ"
        ඒ සැන්දෑවේ රාජකාරි වැඩට පැමිණි පියසේන, TO විසින් දවල් වරුවේ වැඩ කරපු කට්ටියගේ කාඩ් එක අත්සන් කරන ගමන් කියපු කතාවක්. අපේ තාත්තලා වගේ අයට නම කියලා කතා කරන්න සිද්ද උණු එක පුහුණුව පටන් ගත්ත කාලයේ අසීරු වැඩක් උණත්, එසේ කල යුතු බවට තදින්ම බල කර සිටිය නිසා හැමෝටම නම කියලා කතා කරන්න සිද්ද උනා.


         
 අලියෙක් බලා ගන්න කොයිතරම් ආසාවෙන් හිටියත් ඒක සාර්ථක කර ගැනීමට මට එහි සිටි මාස දෙකක කාලය තුල නොහැකි විය. ආසන්න අත්දැකීම් කිහිපයක් ලැබුණත් දෑසින් දැක ගැනීමට නොලැබීම අවාසනවක් සේ සලකමි.  ටික දිනකට පසු රාත්‍රී කාලයේ වැඩ ආරම්භ කිරීමෙන් පසුවද එය ඉෂ්ට නොවීම ඉතා කනගාටු දායකය.

2 comments:

  1. අකුරුවල පාට (text colour) ලා පාටට දාන්න එපා! කියවන්න අමාරුයි. හයිලයිට් කරලායි කියෙව්වේ!

    ReplyDelete
    Replies
    1. මුල ලිපි වල අඩුපාඩු ගොඩාක් තිබිලා අනිත් අය කියලා දුන්නා. දැන් නම් ඒ ටික හදාගන්නවා. ගොඩාක් ස්තුතියි කතන්දර තුමෝ

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න