Friday, May 17, 2013

නූලෙන් බේරුණ චීනා

       ලංකාවේ ගොඩක් ඉදිකිරීම් කටයුතු වලට විදේශික අය එන එක සාමන්‍ය දෙයක්. විශේෂයෙන්ම ජපානය, චීනය, කොරියාව වගේ රටවල මුලිකත්වයෙන් සිදුවන ව්‍යපෘති වල දී ඒක වැඩිපුර දකින්න ලැබෙනවා. 
      යුද්ධය ඉවර උනාට පස්සේ යුධ අවි වෙනුවට යන්ත්‍රෝපකරණ ලංකාවට ගෙන්නන්න පටන් ගත්තට පස්සේ මේ තත්ත්වය වැඩි උණේ ඒවා එකලස් කරන්න ඒ ආයතන විසින්ම සුවිශේෂ පුහුණුවක් ලබපු අය එවන්න ගත්තට පස්සේ.
           කැම්පස් එකේ පිස්සු නට නටා  හිටපු මම මොකක්දෝ හේතුවකට මහියංගණයේ පුහුණුවකට ගියේ CECB ආයතනයට අනුබද්ධිත CESL ආයතනයේ පෙරමුසු නිෂ්පාදානා ගාරයක් එකලස් කරන කාලෙක. මේක අපිට එවලා තිබ්බේ චීනෙන් හින්දා චීන්නු 4 දෙනෙක් ඒ වෙද්දී මේකේ වැඩ කර කර හිටියා. ඒ එක්කම තමයි වාහන වල බර කරන්න සේතු තරාදියක් (weigh bridge) ඉදිකරන්න පටන් ගත්තේ.

සේතු පාලම

චීන ජාතිකයා
       මේකේ වැඩට අලුත් චීනෙක් ගෙන්නුවා. ඇග පත ලොකුවට තිබ්බට හරිම අහිංසකයෙක්. අනිත් චීන්නු ලංකාවේ ටික කාලයක් ඉදලා අපේ අය ගැන හොදට දැන ගත්ත එවුන්. මේ වෙද්දී ලෝකේ කාලා වතුර බීලා ඉන්න විදියට ඉන්නේ. ඒත් මුලින්ම ලංකාවට ගොඩ බැහැපු මේ අලුත් චීනා -අර කතාවට කියන්නේ කොන්ඩේ බැදපු චීනා වගේ කියලා- මෙලෝ දෙයක් දන්නේ නැහැ. අඩු ගානේ ඉංග්‍රීසි වත් හරියට බෑ. මමත් නිකම් වැඩ කරුවා වගේ මුලින්ම කඩුව වන වනා ඉස්සරහට ගියා. ඒකට කොල්ලා බයවෙලා මිනිහගේ භාෂා පරිවර්තකට කෝල් එකක් අරන් දුන්නා මම කියන්නේ මොකක්ද කියලා අහගන්න. එදා ඉදලා දිගටම එයා මාර්ගයෙන් තමයි සන්නිවේදනය කරන්නේ. 
            මේ අය වෙනුවෙන් අපිට විශාල වියදමක් දරන්න උණා. නැවතිලා හිටියේ CECB එකට අයිති රන්දෙණිගල සංචාරක නිකේතනයක. උදේ හවස එක්කගෙන යන්නයි ඇරලවන්නයි වාහනයක් යවන්න ඕනේ. ඒ වගේම මුන් ටික දාගෙන මහියංගණයට ගිහින් සතියකට සැරයක් බඩු ගන්න ඕනේ. ගන්නෙත් ආයේ එසේ මෙසේ කෑම නෙවේ. සුපිරිම බඩු. ඒ මදිවට සිගරට්, එකක් නිවෙන කොට එකක් පත්තු කරනවා. මේ සිගරට් නම් උන්ගේ සමාගමෙන් උන්ට දෙනවා ද කොහේද. මොකද ලංකාවේ සිගරට් දුමේ තියන ගතිය නෙවේ එකේ තිබ්බේ. මට කොහොමත් සිගරට් ගඳ දිරවන්නේ නෑ. ඒ උණත් එකේ අප්පිරියා ගතියක් නෑ. ඒ උනාට චීන්නු බොන සිගරට් වලින් ආවේ මහා එපා කරපු ගඳක්.
               මේ කියන්න යන සිද්ධිය උනේ හැන්දෑවක. ඒ වෙද්දී අනිත් චීන්නු ගිහිල්ලා. අලුත් එකා විතරයි ඉතුරු වෙලා හිටියේ. දවසේ වැඩ ඉවර කරලා කට්ටිය යන්න ලැස්ති වෙන වෙලාව. අපේ සයිට් එකේ වාහන තුනක් තිබබා. එකක් සයිට් ඉන්ජිනියර් ට දීලා තිබ්බ කාර් එක. අනික මහවැලි යුගයේ භාවිතා කරපු 31 අංකෙ තියන ජීප් එකක්. අනික අලුත්ම් කෘ කැබ් එකක්. 
               කොහොමත් චීනා එක්කරගෙන යන්නේ ඒ කෘ කැබ් එකේ. අපි අනිත් වැඩ ටික ඉවර කරලා එනකල් චීනා කැබ් එකට වෙලා වාඩි වෙලා හිටියේ. මමත් ඒ පැත්තට යන්න කියලා එලියට බැස්සා. එතකොට අපි මොකද පරක්කු කියලා බලන්න චීනා වාහනෙන් එලියට බැහලා. ඒ එක්කම තමයි 'සරාස්ස්ස්' ගාලා සද්දයක් ඇහුනේ. දඩාර ගහක් මුලින්ම කඩන් වැටිලා කැබ් එකට -මට ගහේ නම මතක නෑ. කොළ දැක්කට අදුනා ගන්නත් අමාරුයි දැන්නම්-


       මම හිතුවේ චීනා ඉවරයි කියලා. මොකද හරියටම කැබ් එක උඩට ගහ වැටුණේ. සේරම දුවලා ගිහින් බැලුවා. දෙවි පිහිටෙන් කිසිම කරදයක් වෙලා නෑ. ගහ වැටෙද්දීම මිනිහා ඇතුලට පැනලා නැමිලා. බැරිවෙලාවත් එතනම හිටියනම්, නැත්නම් එලියට පනින්න හැදුවා නම් එහෙමත් නැතිනම් ඇතුලට පැනලා නැමුණේ නැතිනම් මේක වෙනස් විදියක කතාවක් වෙන්නේ.





   කොල්ලා කොහොමහරි නොසෑහෙන්න බය වෙලා. අපි හිත හදලා යාන්තමට පිටත් කලා. කෘ කැබ් එක හානියට පත් වුණ එක ගැන වාර්තාවක් ලියන්න ඡායා රුප ටිකක් ගත්තා. ඒ හින්දා මේ කතාවට අදාළ සිද්දිය මතක තියා ගන්න පුළුවන් උණා.











No comments:

Post a Comment

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න