Sunday, October 20, 2013

කඨින සහ අතීත මතක

               කාලයක් අත ඇරිලාම තිබ්බ එක ආපහු පටන් ගන්න බැලුවේ. අකලට කලටි පොල් වැටෙනවා වගේ එකක් දෙකක් දැම්මාට ඒක වැඩි කල් ගෙනියන්න බැරි උණා. අද ටිකක් සුද්ද කරලා පොඩි වෙනසක් එහෙම කෙරුවා. මේ පාරවත් මහන්සි වෙලා කරගෙන යන්න ඕනේ. 
             අද උදේ ඉදන්ම වැස්ස, ඉතිං වෙන වැඩක් කරන්න හිතේ පිරියක් තිබ්බෙත් නෑ. ඒ හින්දා උදේ ඉදන්ම පිස්සු කම්මැලි කමේ ඉදලා හැන්දෑවෙලා මේකට අත ගැහුවා. මේක ආයේ පටන් ගන්න නැකත් බල බලා හිටියාට ඒක වෙන්නේ නෑ කියලා තේරුණා. පුද්ගලික සිදුවීමක් හින්දා අද දවස මට වැදගත් දවසක්. කොහොමින් කොහොම හරි මේ දෙකම එක දවසේ උණ එකත් එක අතකට හොදයි. 
              පටන් ගත්තට ලියන්න දෙයක් ඔලුවේ තිබ්බේ නෑ. ලියන්නේ මොකක්ද කියලා හිත හිතා ඉන්න කොට තමයි ළඟ තියන පන්සලේ කඨින පින්කම ගැන ඇහුනේ.


             මට තවම එකම එක පාරයි කඨින පින්කමකට සහභාගී වෙන්න ලැබුණේ. ඒ මම හිතන්නේ අට වසරේ හරි නමයේ වසරේ හරි ඉන්න කොට. එදා තමයි මට මතක හිටින කාලේක මුලු රෑම ඇහැරගෙන හිටපු පලවෙනි දවස. දහම් පාසලේ ඉන්න සේරම පිරිමි ළමයින්ට එදා එන්න කියලා තිබබා. අපිටත් ඉතිං ඒ වගේ දෙයක් හම්බුනොත් ආයේ ලේසියෙන් අත අරින්නේ නෑනේ. රෑ 12 විතර වෙද්දී තාත්තා පන්සලට ගිහින් ඇරලුවා. ඊට පස්සේ කාගේදෝ මන්දා ලෑන්ඩ් මාස්ටර් එක්ක නැගලා මහා රෑම ගියා. ගියේ කොහෙද කියලා මතක නැති උණාට ඉල ඇට කෝටු ටික ඉතුරු උණේ හරිම අමාරුවෙන් කියලා මතකයි. මොකද ඒ තරමට පාරේ වලවල්. කඨිනේ පුජා කරන ගෙදර අය අපිට එන්න කියලා පැදුරු වල වාඩි කරවලා කන්න බොන්න දුන්නා ඇති තරම්. පොඩි කාලෙනේ. මහා ලොකුවට කන්නත් බෑ. ඒත් ඉතිං අවුරුද්දට හැරුණාම එච්චර කෑම ගොඩක් දකින්නේ ඒ වගේ වෙලාවක විතරනේ. කන්නේ නැති උණාට ඒ දවස් වල එහෙම කෑම ගොඩක් එක තැන තියනවා දකින එකම අපිට ඇති. මට මතකයි ගෙදර ඇවිත් අයියාට කෑම ගැන කියලා ලොකු කම් කියපු හැටි. (අයියා දහම් පාසල් යෑම කලින් නතර කරපු හින්දා කඨිනෙට ගියෙත් නෑ).
      එතනින් එහාට වැඩිය මතකයක් නෑ. පෙරහැරින් උදේම ගම වටේම ගිහින් පන්සලට කඨිනේ වඩම්මවාගෙන ආවා මතකයි. ඊට වඩා දෙයක් මතක තිබ්බේ නැත්තේ ඒවා ඒ කාලේ හිතට වැදුණේ නැති හින්දා වෙන්න ඇති.


             තවමත් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් කඨින පින්කමේ සද්දේ ඇහෙනවා. අද උදේ ඉදන් තිබ්බ වැඩ සටහන දැන්නම් ඉවර වෙන්න ළඟයි වගේ. ඒ හින්දා කෙටි උණත් මේ ලිපිය ඉවර කරන්න හිතෙනවා මටත්. හැබැයි ඒ ආයෙම ඉක්මණින්ම ලියන්න බලාගෙන.

No comments:

Post a Comment

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න