රජයේ සේවයට ගියත් හරි සෙනසුරාදා ඉරිදා නිවාඩු හම්බුණාට මාසයක් එක දිගට වැඩ කරලා දවස් 3 විතර නිවාඩු අරගෙන පුරුදු අපිට තවම ඒ පිළිවෙල හරියටම හුරු වෙලා නෑ. ඒ හින්දාම සති අන්තයේ හදිසි අවස්තාවන් උදෙසා රැදී සිටින නිලධාරියාගේ රාජකාරිය දෙපාරක් හිතන්නේ නැතිව මේ සතියේ භාර ගත්තේ CE. අනිත් දවස් වලට ඉස්පාසුවක් නැතිව යනවා එනවා මිසක් නිදහසේ වට පිටාව බලන්නත් නැති හින්දා මේ වගේ දවසක් අල්ලා ගෙන තමයි පොඩ්ඩක් ඇවිදලා කරලා එන්නවත් තියෙන්නේ. C කලාපයට වතුර දෙන උල්හිටිය ජලාශය අවට කියන්නේ ඒ වගේ නිස්කලංකේ ඇවිදලා බලන්න වටින තැනක්.
උල්හිටිය ජලාශය |
කාෂ්ඨක අව්වේ නිල් කැටේට දිලිසෙන ජලාශේ දැක්කත් ඇඟට සනීපයි. හැමදාම හැන්දෑවට මේකේ ඉවුරට අලි එනවා වතුර බොන්න. ඔය පහලින් තියෙන්නේ උල්හිටිය ජලාශේ පින්තුරයක්. පැහැදිලිව පේන්නේ නැති උණාට රවුමෙන් වට කරලා තියෙන්නේ ඒ විදිහට වතුර බොන්න ආපු අලි දෙන්නෙක්.
දවසකට සැරයක් වගේ මෙතනට ආවා ගියාට නිදහසේ බලා කියා ගන්න තවම වේලාවක් හම්බුනේ නැති හින්දා අද (10 සෙනසුරාදා) උදේ වරුවේ උල්හිටිය ජලාශයට පැත්තේ ගියේ ඇවිදින්න බලාගෙන. පිළිගන්න ටිකක් අමාරුයි කියලා හිතුණත් අපේ පැත්තේ කුකුළෙක් දකිනවාට වඩා ලේසියෙන් මේ පැත්තේ මොණරෙක් දැක ගන්න පුළුවන්. මේ පැත්තේ නිදහසේ රවුමක් දාන්න ඒකත් එක හේතුවක් උණා. නිකම්ම සිරි නැරඹීමේ චාරිකාවක් විතරක් කර ගන්නේ නැතුව ඒ යමින් ගමනේ කැලේ වැවිලා තියන තැන් මොනවාද කියලා බලා ගන්න වැඩේත් ඒ එක්කම කරගෙන එන්නයි හිතාගෙන හිටියේ. යාන්තම් පඳුර හැදීගෙන එනකොට කපලා දැම්මේ නැතිනම් පඳුරු අස්සේ පොළොංගු රිංගනවා. එතකොට ඒවා සුද්ධ කරන්න මිනිහෙක් යවනවා බොරු. ඇයි දෙවියනේ රස්සාව කරනවා කියලා පොළොංගු කව්ව ගන්න කැමති මොන මනුස්සයාද. එහෙම උනාම ඉතින් වැඩේ භාර දෙන්න වෙන්නේ කොන්ත්‍රාත්තු ක්‍රමයට. නියපොත්තෙන් කඩන්න තියන දේ ආයේ පොරොවෙන් කපන්න තියන්න ඕනේ නැති හින්දා කැලේ වැවෙන තැන් ගැන ටිකක් විපරමින් ඉන්න වෙනවා.
එහෙම හිතාගෙන 51 හන්දියෙන් දාලා උල්හිටිය පැත්තට යනකොටම උල්හිටිය වම් ඉවුරු සොරොව්ව ගාව මහා විශාල සෙනගක්. උල්හිටිය - රත්කිඳ ජලාශ දෙකෙන් තමයි මහවැලි C කලාපය පටන් ගන්නේ. දෙහිඅත්ත කණ්ඩිය, නුවරගල වගේ ඈතට වතුර ගෙනියන්න කලින් අහල පහල තියන ගිරාඳුරුකෝට්ටේ පැත්තට වගේ වතුර ගෙනියන්නේ මේ වම් ඉවුරු සොරොව්වෙන්. මෙදා සැරේ අන්තර් නිම්න ඇල පිළිසකර කරන වැඩ හින්දා වතුර දෙන දවස ටිකක් පහුකරන්න තමයි හිතාගෙන හිටියේ. මුළු අවුරද්ද පුරාවටම වතුර ඇරලා තියන හින්දා යාන්තම් සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙකේ තමයි ඇල පොඩ්ඩක් වහන්නේ. ඒ කැඩුණු බිඳුණු තැන් මොනවාද කියලා බලාකියා ගෙන ඒවා හදාගන්න. මොකද මේ මාස දෙක ඇතුලේ කරගන්න බැරි උණොත් ආයේ අවුරුද්දක් ඉන්න වෙනවා ඒවා හදාගන්න. වෙනදා ට පොඩිවට කරන මේ පිළිසකර කරන වැඩේ මෙදා පාර පුද්ගලික සමාගමකට දුන්නේ කාලයක් තිස්සේ ඉදලා කරන්න තිබ්බ පිළිසකර කරන වැඩ ගොඩක් එකතු වෙලා තිබ්බ හින්දා. අනික මේ වෙනකොට මේවා හදලාත් අවුරුදු 30 ක් වගේ වෙනවා. තවත් අවුරුදු ගානක් මේවා වැඩ කරන්න ඕනේ නම් මේ විදිහේ මහා පරිමාණයේ පිළිසකර කරන වැඩක් ඕනේ මයි. ඒ වැඩ හින්දා වෙනදා ඇළ අරින දවසට මේ මාසේ වතුර දෙන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. මම හිතුවේ ඒ ගැන ගම් වල කට්ටිය එකතු වෙලා උද්ගෝෂණයක් කරනවා කියලා.
පාරත් වහලා |
ගිය අලුතම වෙච්චි, මම මොනවා කියලා කරන්නද එහෙම දේකට. මගේ නම් අදහස උනේ ඉක්මනටම හරවාගෙන යමු කියලා. ඒත් මේ වගේ දෙයක අඟ මුල හොයා ගන්නේ නැතුව නින්ද යන්නේ නැති අපේ රියදුරු උන්නැහේ නම් කිව්වේ එහෙම දෙයක් නෙවේ කියලා. පොඩ්ඩක් ඈතින් වාහනේ නවත්තලා මට වාහනේටම වෙලා ඉන්න කියලා මිනිහා ගියා පොඩ්ඩක් ඔලුව දාලා එන්න. මාත් ඉතින් ආයේ මොකද කියලා වාහනේටම වෙලා හිටියා. (බයකට එහෙම නෙවේ ඉතින්, තවම බැඳලාත් නැති තනිකඩ කොල්ලා නේ).
මහා ලොකු වෙලාවක් යන්න කලින් පොර සේරම විස්තරත් හොයා ගෙන ආපහු ආවා. සිද්ධිය තමයි උල්හිටිය ජලාශේ ගාවම තියනවා උල්හිටිය දියවර ගම්මානය. මේකේ ඉන්න මිනිස්සු ගොවිතැන බත් වලටත් වඩා කෙරුවේ ජලශේ මාළු අල්ලලා විකුණන එක. වැඩි විස්තර කියන්න දන්නේ නැති උණත් ගම ගැන අහන්න හම්බුනු කතා නම් එච්චර හොඳ නෑ. ඉතින් කලින් දවසේ ගමේ කොල්ලෙක් කුදලාගෙන ගිහින් තියනවා කසිප්පු පෙරනවා කියලා. පස්සේ ඇප දීලා බේරාගත්තාට නිරපරාදේ තමන්ව කුදලාගෙන ගියා කියන එකට විරුද්ධව මේ මනුස්සයා විරෝධතාවයක් කරනවා. උදේ පාන්දරම පෙට්‍රල් බෝතලක් අරගෙන උල්හිටිය වම් ඉවුරු සොරොව්වේ පාලක කුටියේ වහලයට නැගලා. තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණේ ගැන හොයලා බැලුවේ නැතිනම් වහලෙන් බහින්නේ නෑ ලු. එකෙක් හරි බලෙන් බස්සවන්න හැදුවොත් ගිනි තියා ගන්නවා ලු.
උදේ ඉදලා ඔය විදිහට ඉන්නවා කියන්නේ |
මම එතනට යද්දී වෙලාව 10 ට වගේ ඇති. උදේ පාන්දර 5 ට විතර වහලේ ට නැගපු ගමන් තමයි මිනිහා තවමත් ඉන්නේ. උල්හිටිය පැත්තේ රස්නය ගැන කෙනෙක් ට වචනයෙන් විස්තර කරලා දෙන්න බෑ. ඒක විඳලම බලන්න ඕනේ. උදේ 9, 10 වගේ වෙච්චි වෙලාවේ ඉදලා හැන්දෑවේ ඉර බහිනකල්ම වගේ ගල් කාෂ්ඨක අව්වක් තියෙන්නේ. පුරුදු නැති කෙනෙක් විනාඩි 10 ක් වගේ අව්වේ හිටියා නම් කැරකිල්ල වගේ හැදෙනවා. එහෙව් එකේ උළු වහලේ උඩ ඉන්නවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙවේ. මේ වෙද්දී ගමේ අයත් එතනට එකතු වෙලා. දෙපැත්තෙන් පාර හරස් කරලා. මේ පාර හරස් කලාම උල්හිටිය, රත්කිඳ පැත්තේ ඉන්න කෙනෙක් ට මහියංගණේ හරි පදියතලාව හරි පැත්තට යන්න ඕනේ නම් ගිරාඳුරු කෝට්ටේ ට ගිහිල්ලා ලොකු වටයක් ගහලා යන්න වෙනවා. නොසන්සුන් කාරී තත්ත්වය හින්දාම ගිරාඳුරුකෝට්ටේ පොලීසියත් එතනට ඇවිත් හිටියා. ඒ කියන්නේ මෙතන දී නම් විත්ති කාර පාර්ශ්වය. ගමේ කට්ටිය බයක් සැකක් නැතිවම පොලිසියට විරුද්ධතාවය දක්වනවා. පොලීසියත් මැදිහත් වීමක් කරන්නේ නැතිව පැත්තකට වෙලා බලාගෙන හිටියා.
මේ කාරණේ හින්දා යන්න CE ටත් කරන්න ගිය වැඩේ පැත්තක දාන්න උණා. එක හේතුවක් උනේ එතනින් එහාට වාහනේ ගෙනියන්න දීපු නැති එක. වාහනේ එතන දාලා උල්හිටියේ වාහනේ ගෙන්වාගෙන යන්න තිබ්බත් මේ මනුස්සයා නැගලා හිටියේ පාලන කුටියේ හින්දා නොහිතපු ගැටලුවක් මතු වෙලා තිබ්බා. නිකමට වත් මේ මනුස්සයා ගිනි තියා ගත්තොත් එහෙම පාලන කුටියම ගිනි ගැනීමේ අවධානමක් තිබ්බා. එතකොට සිද්ධ වෙන විනාශය ඒ මනුෂ්‍යාගේ ජිවිතය විතරක් නෙවේ. වම් ඉවුරු සොරොව්වේ පාලන කුටියේ යාන්ත්‍රික කොටසකට හානියක් උණොත් වතුර හරි විදිහට පාලනය කරන්න බැරි වෙනවා. එතකොට හරි විදිහට වතුර දෙන්න බැරි වෙනවා. එහෙම උනොත් ඊළඟ කන්නය වැඩ කරන්න වතුර නෑ. ඒකෙ ප්‍රතිපලය හිතනවාට වඩා ගොඩක් වැඩි. ඒ හින්දා සේරම පැත්තක දාලා ඉහල පරිපාලනය දැනුවත් කරන්න CE කටයුතු කළා. පැයක් දෙකක් එතන හිටියත් සිද්ධියට විසදුමක් හම්බුනේ නෑ. බදුල්ල මුලස්ථාන පොලිසියෙන් ඒ ගැන කතා කරලා විසදාගන්න කණ්ඩායමක් එනවා කියලා ආරංචිය ආවට පස්සේ තමයි CE එතනින් ආවේ. ඒ ඉන්න කාලය තුල පාර්ශව දෙකෙන්ම සිද්ධියට අදාළ කරුණු ගොඩක් කියවුනා. ඒ අතරේ අල්ලස් ගැනීම්, මාළු කාරයින් ගේ ගම හින්දා අඩු සැලකිලි වගේම ගම සම්බන්ධයෙන් ඉවරයක් නැති පැමිණිලි, නීති විරෝධී මත් ද්‍රව්‍ය ව්‍යාපාර වගේ දේවල් තිබ්බා උණත් ඒ කාරණා ගැන වැඩිය කතා කරන්න අදහසක් නෑ. මොකද මේක සටහන් පොතක් විතරයි. දැකපු දේ කිව්වා මිසක් ඒ එක් එක් පාර්ශව ගැන අර්ථ කථන දෙන්න අදහසක් CE ට නෑ. හැබැයි දෙපාර්ශවය අතේම යම් තාක් දුරකට වරදක් තියනවා කියන එක තමයි CE ගේ අවසාන නිගමනය උනේ