Wednesday, September 23, 2015

17 හංදියේ CE

මහියංගණයේ ඉදලා බදුල්ල පැත්තට ටික දුරක් යද්දී මාපාකඩ වැව පහු කරනවාත් එක්කම හම්බෙනවා 17 හංදිය. තේ එකක් බොන්න, පොඩිවට දෙයක් බඩට දා ගන්න කඩයක් දෙකක් තියනවා මිසක් එතනින් එහාට නම් වැඩි ආටෝපයක් නෑ. මහියංගණයේ ඉදන් එන පාර මෙතනින් දෙකට බෙදෙනවා. එකක් යනවා මිනිපේ ඇල දිගේ හෑපාන ඔය ජලාශය, ලොග්ගල් ඔය ජලාශය පහුකරගෙන බදුල්ලට. රජ මාවත ඇවිත් වැටෙන්නෙත් ඔය පාරට. අනිත් පාර මිනිපේ ඇළ හරහා එහෙම ගිහිල්ලා බිබිලේ, මොණරාගල පැත්තට යනවා. 
ලොග්ගල් ඔය ජලාශය

ඔන්න ඔය හරියේ තියන ආණ්ඩුවේ කන්තෝරුවකට අලුතෙන් යනවා හාදයෙක්. මීට අවුරුදු එක හමාරකට දෙකකට කලින් පාඩුවේ බ්ලොග් කට්ටක් ලියාගෙන හිටිය කෙනෙක් කියලා කියමුකෝ අපි. ඉස්සර නම් හැමෝම කතා කෙරුවේ යක්ෂයා කියලා. කැම්පස් එකේ පිස්සු කෙල කෙල හිටිය යක්ෂයා හා පුරා කියලා රස්සාවකට ගියා ගියාමයි එතනින් එහාට සද්දයක් නැති උණානේ. ඇත්තටම කියනවා නම් ලියන්න ඕන තරම් දේවල් තිබ්බත් ලියා ගන්න වේලාවක් තිබ්බේ නෑ. ඊටත් වඩා බ්ලොග් ලියනවා නම් අනිත් අයගේ බ්ලොග් එකකට ගොඩ වැදිලා නිවාඩු පාඩුවේ කියවලා එහෙම එන්න ඕනනේ. ඔය කාරණා හින්දා තමයි යක්ෂයා ටික කාලේකට බ්ලොග් කෙරුවා වෙන් ඈත් උණේ. 

හැබැයි දැන් ආපහු සේරම වෙනස් වෙලා. කලින් උදේ 7 ඉදන් රෑ 8 වෙනකල් කරපු රස්සාව වෙනුවට උදේ 8.30 ඉදන් හැන්දෑවේ 4.15 වෙනකල් විතරයි වැඩ කරන්න ඕනේ. ඔය කිව්වාට මේ වෙලාවල් උනත් ටිකක් එහෙ මෙහෙ කරගන්න පුළුවන්. ඒ වගේම මාසෙකටම තිබ්බ දවස් තුන වෙනුවට දැන් සති අන්තෙත් කොල්ලාට නිවාඩු. ඒ හින්දා තමයි ආයෙමත් මේ පරණ බ්ලොග් කෙරුවාවට අත ගහන්න හිතුනේ.


කලින් යක්ෂයා ගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් ගියපු අය, යක්ෂයා නිතර ගොඩ වැදුණු අය ඉන්නවා ද කියලා වත් බලන්න හම්බුනේ නෑ. ඉස්සරහට ඒ ගැන හෙමිට හොයලා බලන්න ඉන්නේ. එතකල් මේක පුරාවට වැවිලා තියන කැලේ කොටලා පරණ කුඹුර ආපහු හදාගන්න ඕනේ. 

රස්සාව අලුත් උණාට මේ පැත්ත නම් යක්ෂයාට අලුත් තැනක් නෙවේ. කැම්පස් එකේ ඉන්න කොට යක්ෂයා පුහුණුවට ආවේ මේ පැත්තට. ඒ අතර වාරයේ වෙච්ච අකරතැබ්බ එකක් , දෙකක්  ගැනත් යක්ෂයා කතා කෙරුවානේ. මේ ආවේ ඒ කිට්ටුවටම උණාට දැන් තත්ත්වය ටිකක් වෙනස්. ටිකක් කිව්වට ගොඩක්ම වෙනස්. කලින් හිටපු විනෝද කාමී කොල්ලා වෙනුවට දැන් ඉන්න වෙලා තියෙන්නේ පොඩි පහේ නමක් තියාගෙන. ඒ හින්දාම මෙච්චර කාලයක් යක්ෂයා විදිහට තිබ්බ නමත් පොඩ්ඩක් වෙනස් කරලා දාන්න කියලා හිතුණා. ඉස්සර හැමෝම යකා නැතිනම් යක්ෂයා කියලා කතා කෙරුවට දැන් වැරදිලාවත් ඒ විදිහට කතා කරන්න එකෙක් නෑ. හැමෝම වගේ කතා කරන්නේ CE මහත්තයා කියලා. ඉතින් ඒ හින්දාම යක්ෂයා කියන නම අයින් කරලා මෙතන ඉදන් CE කියලා තමයි බ්ලොග් කට්ට කියන්නේ. කලින් හිතට ආපු මොන මොනවා හරි ලියන එකත් ඉස්සරහට වෙනස් වෙයි. සයිට් එකේ යද්දී අහන්න ලැබෙන දේවල් තරමට ම තියනවා. ගොඩක් දේවල් අතේ ගෙනියන කටු සටහන් පොතේ ලියා ගන්න බැරි ඒවා. ඒ හින්දා තමයි ඒ සේරම ටික එක තැනකට කරලා තියා ගන්න ආපහු මේ බ්ලොග් එකට අත තිබ්බේ. එක කාලයක් තිබ්බ වගේම ආපහු බ්ලොග් එක කරගෙන යන්න බලමු එහෙනම්.