Wednesday, March 26, 2014

කං කං බූරු ශින් ශින් නෝරු සමඟ වැඩ ඇල්ලීම

මොනවා හරි දෙයක් ලියන්න කියලා හිටියට ඒක අතපහු වෙලා ගියා. මොනවාහරි නෙවේ ඇත්තටම ලියන්න දේවල් නම් ගොඩක් තියනවා. ඒත් යකා මේ දවස් ටිකට දිනපතා එකම විදියේ රාමුවකට කොටුවෙලා. සුපුරුදු වැඩ පිළිවෙල සේරම අනිත් පැත්ත හැරිලා. කැම්පස් එකේ ඉද්දි යකා වැඩ පටන් ගන්නේ රෑ 10 ට විතර. ෆිල්ම් එකක් හරි ටීවී සිරිස් එකක් හරි බලලා, බ්ලොග් ටික සේරම කියවලා, බුකිය පැත්තේ කරක් ගහලා තව ගේම් එකක් ගහන්නත් ඕනා තරම් වෙලාව තිබ්බා. රෑ 2 ට විතර නිදාගෙන උදේ 10 ට විතර නැගිටලා (ලෙක්චර් තිබ්බොත් 7 ට, ඉතුරු ටික ලෙක්චර් එකේ නිදා ගන්නවා) සරල ජිවිතයක් ගත කරපු යකා දැන් වැරදිලාවත් 10 වෙනකල් ඉන්නේ නෑ. 7 ට 8 ට වැඩ ඉවර වෙලා නාලා කරලා ඉවර වෙද්දී 9 පහුවෙලා. එතකොට ආයේ වෙලාවක් නෑ පරණ දේවල් වලට. ඒ හින්දා දැන් බ්ලොග් එකක් කියවන්නේ වැඩ කරන වේලාවේ විවේකයක් අතරදී. 
මේ දවස් ටිකට යකා ඒකාකාරී ජිවිතයට ටිකක් හුරු උණා කිව්වොත් හරි. ඉස්සර මාරම අවුලක් තිබ්බේ කොහොමද මිනිහෙක් එක දිගට ඉදගෙන හැමදාම කල් ගෙවන්නේ කියලා. ඒත් මුළු කාලය උදේ තේ වෙලාව, දවල් කෑම වෙලාව, 3 තේ වෙලාව, පහ හමාරේ තේ වෙලාව සහ හැන්දෑ වරුව කියලා බෙදා ගත්තාම එකේ ලොකු අවුලක් නැති තරම්. වරකට එක කාල සිමාවක් විතරයි ගෙවන්න තියෙන්නේ. යකාට අලුත් උණාට අනිත් කට්ටියට හොදටම පුරුදු කාර්යාල ජීවිතය ගැන කියන්න මේ ලිපිය නාස්ති කරන්න යකාට අදහසක් නෑ. හැබැයි ඉතින් වැදගත් කියලා හිතෙන දේවල් ටිකක් විතරක් කියන්න වෙනවා. මොකද ඉස්සරහට ගොඩාක් පෝස්ට් වලට පාදක වෙන්නේ මේ පරිසරය හින්දා. අපිට ඉතින් හැලප අයියා වගේ වාක්‍යයෙන් වාක්‍යයට පඳුරු තැලිල්ල පුරුදු නැති හින්දා කලින්ම වටේ සුද්ද කරලා තම්පලා ගහ කපන්න හිතුවේ. එතකොට වැඩේ පිළිවෙලයි නොවැ.
මේකට දාලා තියන නම තමයි කං කං බූරු ශින් ශින් නෝරු කියලා. ඒ වෙන මොකක්වත් හින්දා නෙවේ, යකා වැඩ කරන තැන PM සහ Internal Planning Manager දෙන්නගේ නම් දෙක තමයි ඒ. මතකනේ කලින් එකේ දී කිව්වා මේක කොරියානු සමාගමක් කියලා. කොහොමත් දැන් කාර්යාලය ඇතුලේ භාෂා 4ක් කතා කරනවා. ඒ අපි අපි අතර සිංහල, කොරියන් නිලධාරීන් අතර කොරියන් භාෂාව, අප සහ කොරියන් නිලධාරීන් අතර ඉංග්‍රීසි, සුළු සේවකයන් අතර දෙමල භාෂාව. ඔය අතරේ කොරියන් නිලධාරින්ට ශුද්ධ සිංහලෙන් අදහස් ප්‍රකාශ කරන අවස්ථා නැතුවමත් නෙවේ. ඒත් දැන් උනුත් අපේ භාෂාවේ සුද්ධ සිංහල හෝඩිය ඉගෙන ගෙන ද මන්දා.
යකාට තියෙන්නේ හැටන් - නුවර එළිය සංවර්ධනය කරන ව්‍යාපෘතියේ සැලසුම් කරණයට උදව් වෙන්න. ඒ හින්දා අඩුම වතාවේ සතියකට වතාවක් මේ පාරේ මුල් ඉදන් අගට යන්න ඕනේ. ඒ යන අතර මැද දී තමයි සුන්දර ඩෙවොන් ඇල්ල සහ ශාන්ත ක්ලෙයාර් ඇල්ල හම්බෙන්නේ. හදිස්සියට යන ගමන් නවත්තලා ෆොටෝ එකක් ගහගත්තා. යකාට ඡායාරුප කලාව එච්චර හරි යන්නේ නැති හින්දා වැඩිය ලස්සන නම් නෑ. අනික දැන් ඉහල කොත්මලේ විදුලි බලාගාරය හින්දා ශාන්ත ක්ලෙයාර් ඇල්ල දැන් එච්චර ලස්සන නෑ.

සුන්දර ඩෙවොන් දිය ඇල්ල
නිරුවත් වී ඇති ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල
මේක ඉවර කරන්න කලින් කාරනාවක් දෙකක් තියනවා කියන්න. එකක් තමයි මේ ව්‍යාපෘතියේ තියන විශේෂ ලක්ෂණයක් ගැන. ඒ තමයි කොටගල කියන ස්ථානයට ආසන්නයේ දී හැටන් නුවර එළිය මාර්ගය දුම්රිය මාර්ගයට යටින් යනවා. සුද්දා ගේ කාලේ ඉදලා තිබ්බ බිම් ගෙය තියෙන්නේ තද වංගුවක් එක්ක. ඒත් එක්කම ඒක හරි පටුයි. ඒ හින්දා අලුතෙන් උමඟක් භාවිතා කරන්න තීරණය කරලා තියනවා. විශේෂත්වය තමයි උඩින් චලිතමය බලයක් (Dynamic Force) තියෙද්දී යටින් ගල පුපුරවලා ඉදි කිරීම් කටයුතු කරන්න තීරණය කිරීම. ඉතිං හා හා පුරා කියලා කරන පලවෙනි රස්සාවේ මේ විදියේ දෙයකට දායක වෙන්න ලැබුණ එක ගැනත් යකාට සතුටුයි.
හැටන් - නුවර එළිය මාර්ගය සහ ඉහලින් දිවෙන දුම්රිය මාර්ගය

වර්තමාන කොටගල බිම්ගෙය

දුම්රිය මාර්ගයට යටින් දිවෙන යෝජිත බිම්ගෙයි හැටන් අන්තය සහ
බෑවුමේ ආරක්ෂාවට soil nailing තාක්ෂණය යොදා ගන්නා ආකාරය

අනිත් කාරණේ තමයි, අපි ගාලු පාරේ යද්දී ඒකෙ සංවර්ධනය කටයුතු හින්දා සිදුවුන ප්‍රමාදය ගැන ගොඩාක් තරහා ගත්තා. ඒත් දැන් තාවකාලිකව මාර්ගය වහපු වෙලාවට කෑ ගහන මිනිහෙක් දැක්කම මුණට දෙකක් අනින්න හිතෙනවා. මම මේ තාමත් කල්පනා කරන්නේ කොච්චර පොඩි කාලෙකින් අපේ අදහස් වෙනස් වෙනවද කියලා. ඉක්මනින්ම හම්බෙනකල් හැමෝටම සුභ අලුත් අවුරුද්දක්. (ටිකක් කලින් සුභ පැතුවේ ආයේ අවුරුද්දට කලින් එන එක ශුවර් නැති හින්දා)

ප/ලි
වසන්ත සැණකෙළියට නුවර එළි යන කට්ටිය හැටන් හරහා යන්න ඉන්නවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න. කොළඹ ඉදන් හැටන් දක්වා මාර්ගය අවහිරයක් නැති උණාට, හැටන් ඉදන් තියන දුරෙන් කොටසක් විතරයි හරියට හදලා තියෙන්නේ. ඒ හින්දා අතර මඟ දී සුවපහසුව කියන දේ පොඩ්ඩක් අඩුවෙන්න පුළුවන්.

Monday, March 17, 2014

අළුත් තැනක්

මහා ලොකුවට අවුරුද්දයි කියලා අණබෙර ගහලා කිව්වට එදාට පස්සේ කිසිම දෙයක් ලියන්න උනේ නෑ. හැබැයි ඉතින් පහුගිය ටිකේ වෙච්ච දේවල් හැටියට මේක පැත්තට එන එක අතහැරලා දාන්න වෙලා  තිබ්බේ. අවසාන වසරේ ව්‍යාපෘතිය, පර්යේෂණය කියන ඒවා දෙකේම  අවසන් වාර්ථා, ඉදිරිපත් කිරීම් වලින් හෙම්බත් වෙලා තිබ්බා විතරක් නෙවේ. ඊට පස්සේ අනාගතේ ගැන හිතලා රස්සාවක් හොයාගන්නත් මහන්සි වෙන්න උණා. ඔය අතරේ සරසවියට එනවට වැඩිය කට්ටක් කාලා එකෙන් අයින් වෙන්න මහන්සි උණා. මොකද ඒ තරමට අත්සන් ගොඩක් ගහගන්න වෙලා තිබ්බා. කොහොමින් කොහොම හරි මේ මාසේ 13 වෙනි බ්‍රහස්පතින්දා තමයි යකා අවසාන වතාවට සරසවියට ශිෂ්‍යයෙක් හැටියට කැම්පස් ගියේ. 
එදා අවසන් කෙරුවේ අවුරුදු 4 හමාරකට කිට්ටු වෙන්න ආපු වෙනම යුගය කියලා මතක් වෙද්දී හිතට මොකක්දෝ වගේ. පළවෙනි වතාවට රුහුණු සරසවියේ ඉංජිනේරු පීඨය‍ට තේරිලාත් මොරටු සරසවියටම එන්න ඕනේ හින්දා විභාගේ තව පාරක් කෙරුවේ ඒ තරමටම මේක ගැන උණක් තිබ්බ හින්දා. පස්සේ කාලේක නම් ඒ තීරණය ගැන පසුතැවිලි උණත්, අයින් වෙලා යන වෙලාවේ නම් හිතුණේ එදා මොරටුම එන්න ගත්ත තීරණය වරදක් නෑ කියලා. 
මේ පරණ දේවල් කියන්න කියලා හිතාගෙන නෙවේ මේක ලියන්න ගත්තේ. අලුත් විස්තර කියන්න. දැන් අලුත්ම තැනක ඉදන් අලුත් ජිවිතයක් පටන් ගන්න යන්නේ. ඒ හැටන් - නුවර එළිය මාර්ගය අලුතෙන් සකස් කරන ව්‍යාපෘතියේ සැලසුම් ඉංජිනේරුවෙක් විදියට. කොහොමත් දුර බැහැර පළාතක පළවෙනි රස්සාව කරන්න ආසාවකුත් හිතේ තිබ්බා. පුහුණු කාල සිමාවේ මහියංගණයට ගියෙත් මේ පිස්සුව හින්දාමයි. මෙතනත් කියන්න තරම් වරදක් නෑ. මහියංගනයේ චීන ජාතිකයන් එක්ක වැඩ කෙරුවා වගේ මෙහේ වැඩ කරන්න වෙලා තියෙන්නේ කොරියන් ජාතිකයන් එක්ක. මේක පළවෙනි රස්සාව විදියට සතුටු වෙන්න පුළුවන් එකක් කියලා හිතෙනවා. වටපිටාව උණත් පුදුම ලස්සනයි. ඉහල කොත්මලේ ජලාශය හින්ද ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලේ ලස්සන මැකිලා ගිහින් තියන එක හැරුණාම, පරිසරය ගැන පොඩි අඩුවක් වත් කියන්න බෑ. උදේට නැවතිලා ඉන්න තැනට පොඩ්ඩක් එහාට ගියපුවාම ශ්‍රී පාදයට උඩින් ඉර පායනවා හරි අපූරුවට පේනවා. (අපරාදේ කියන්න බෑ, මම මේක තාම දැක්කේ නෑ. කාටද පුලුවන් මේ සිතලේ නැගිටින්න. මම හොදට පොරවාගෙන නිදා ගන්නවා. මෙතන ඉන්න අයියා කෙනෙක් තමයි කිව්වේ). ඉතිං ඔහොමයි දැනට තත්ත්වය. ඉස්සරහට තව දේවල් කතා කරමු.


සමාවෙන්න ඕනේ හැමෝම, මේ දවස් ටිකේ කාගේවත් බ්ලොග් වලට යන්නත් බැරි උණා. අද ඉදන් වත් ආපහු පුරුදු විදියට පටන් ගන්න ඕනේ. ඒත් හැන්දෑවට බෝඩිමට ගියාට පස්සේ කාලා නිදා ගන්නවා ඇරුනාම වෙන දෙයක් කරන්න හිතෙන්නේ නෑ. කැම්පස් එකේදී පුරුදු වෙලා තිබ්බ නිශාචර ජීවිතය මෙහාට හරියන්නේ නෑ. අලුත් දෙයක් පුරුදු වෙන්න ඕන. ආපහු ඉක්මනින් හම්බෙමු කට්ටියම එහෙනම්.