Saturday, October 10, 2015

අහක යන කරදර

රජයේ සේවයට ගියත් හරි සෙනසුරාදා ඉරිදා නිවාඩු හම්බුණාට මාසයක් එක දිගට වැඩ කරලා දවස් 3 විතර නිවාඩු අරගෙන පුරුදු අපිට තවම ඒ පිළිවෙල හරියටම හුරු වෙලා නෑ. ඒ හින්දාම සති අන්තයේ හදිසි අවස්තාවන් උදෙසා රැදී සිටින නිලධාරියාගේ රාජකාරිය දෙපාරක් හිතන්නේ නැතිව මේ සතියේ භාර ගත්තේ CE. අනිත් දවස් වලට ඉස්පාසුවක් නැතිව යනවා එනවා මිසක් නිදහසේ වට පිටාව බලන්නත් නැති හින්දා මේ වගේ දවසක් අල්ලා ගෙන තමයි පොඩ්ඩක් ඇවිදලා කරලා එන්නවත් තියෙන්නේ. C කලාපයට වතුර දෙන උල්හිටිය ජලාශය අවට කියන්නේ ඒ වගේ නිස්කලංකේ ඇවිදලා බලන්න වටින තැනක්. 

උල්හිටිය ජලාශය

කාෂ්ඨක අව්වේ නිල් කැටේට දිලිසෙන ජලාශේ දැක්කත් ඇඟට සනීපයි. හැමදාම හැන්දෑවට මේකේ ඉවුරට අලි එනවා වතුර බොන්න. ඔය පහලින් තියෙන්නේ උල්හිටිය ජලාශේ පින්තුරයක්. පැහැදිලිව පේන්නේ නැති උණාට රවුමෙන් වට කරලා තියෙන්නේ ඒ විදිහට වතුර බොන්න ආපු අලි දෙන්නෙක්.


දවසකට සැරයක් වගේ මෙතනට ආවා ගියාට නිදහසේ බලා කියා ගන්න තවම වේලාවක් හම්බුනේ නැති හින්දා අද (10 සෙනසුරාදා) උදේ වරුවේ උල්හිටිය ජලාශයට පැත්තේ ගියේ ඇවිදින්න බලාගෙන. පිළිගන්න ටිකක් අමාරුයි කියලා හිතුණත් අපේ පැත්තේ කුකුළෙක් දකිනවාට වඩා ලේසියෙන් මේ පැත්තේ මොණරෙක් දැක ගන්න පුළුවන්. මේ පැත්තේ නිදහසේ රවුමක් දාන්න ඒකත් එක හේතුවක් උණා. නිකම්ම සිරි නැරඹීමේ චාරිකාවක් විතරක් කර ගන්නේ නැතුව ඒ යමින් ගමනේ කැලේ වැවිලා තියන තැන් මොනවාද කියලා බලා ගන්න වැඩේත් ඒ එක්කම කරගෙන එන්නයි හිතාගෙන හිටියේ. යාන්තම් පඳුර හැදීගෙන එනකොට කපලා දැම්මේ නැතිනම් පඳුරු අස්සේ පොළොංගු රිංගනවා. එතකොට ඒවා සුද්ධ කරන්න මිනිහෙක් යවනවා බොරු. ඇයි දෙවියනේ රස්සාව කරනවා කියලා පොළොංගු කව්ව ගන්න කැමති මොන මනුස්සයාද. එහෙම උනාම ඉතින් වැඩේ භාර දෙන්න වෙන්නේ කොන්ත්‍රාත්තු ක්‍රමයට. නියපොත්තෙන් කඩන්න තියන දේ ආයේ පොරොවෙන් කපන්න තියන්න ඕනේ නැති හින්දා කැලේ වැවෙන තැන් ගැන ටිකක් විපරමින් ඉන්න වෙනවා.

එහෙම හිතාගෙන 51 හන්දියෙන් දාලා උල්හිටිය පැත්තට යනකොටම උල්හිටිය වම් ඉවුරු සොරොව්ව ගාව මහා විශාල සෙනගක්. උල්හිටිය - රත්කිඳ ජලාශ දෙකෙන් තමයි මහවැලි C කලාපය පටන් ගන්නේ. දෙහිඅත්ත කණ්ඩිය, නුවරගල වගේ ඈතට වතුර ගෙනියන්න කලින් අහල පහල තියන ගිරාඳුරුකෝට්ටේ පැත්තට වගේ වතුර ගෙනියන්නේ මේ වම් ඉවුරු සොරොව්වෙන්. මෙදා සැරේ අන්තර් නිම්න ඇල පිළිසකර කරන වැඩ හින්දා වතුර දෙන දවස ටිකක් පහුකරන්න තමයි හිතාගෙන හිටියේ. මුළු අවුරද්ද පුරාවටම වතුර ඇරලා තියන හින්දා යාන්තම් සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙකේ තමයි ඇල පොඩ්ඩක් වහන්නේ. ඒ කැඩුණු බිඳුණු තැන් මොනවාද කියලා බලාකියා ගෙන ඒවා හදාගන්න. මොකද මේ මාස දෙක ඇතුලේ කරගන්න බැරි උණොත් ආයේ අවුරුද්දක් ඉන්න වෙනවා ඒවා හදාගන්න. වෙනදා ට පොඩිවට කරන මේ පිළිසකර කරන වැඩේ මෙදා පාර පුද්ගලික සමාගමකට දුන්නේ කාලයක් තිස්සේ ඉදලා කරන්න තිබ්බ පිළිසකර කරන වැඩ ගොඩක් එකතු වෙලා තිබ්බ හින්දා. අනික මේ වෙනකොට මේවා හදලාත් අවුරුදු 30 ක් වගේ වෙනවා. තවත් අවුරුදු ගානක් මේවා වැඩ කරන්න ඕනේ නම් මේ විදිහේ මහා පරිමාණයේ පිළිසකර කරන වැඩක් ඕනේ මයි. ඒ වැඩ හින්දා වෙනදා ඇළ අරින දවසට මේ මාසේ වතුර දෙන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. මම හිතුවේ ඒ ගැන ගම් වල කට්ටිය එකතු වෙලා උද්ගෝෂණයක් කරනවා කියලා.

පාරත් වහලා

ගිය අලුතම වෙච්චි, මම මොනවා කියලා කරන්නද එහෙම දේකට. මගේ නම් අදහස උනේ ඉක්මනටම හරවාගෙන යමු කියලා. ඒත් මේ වගේ දෙයක අඟ මුල හොයා ගන්නේ නැතුව නින්ද යන්නේ නැති අපේ රියදුරු උන්නැහේ නම් කිව්වේ එහෙම දෙයක් නෙවේ කියලා. පොඩ්ඩක් ඈතින් වාහනේ නවත්තලා මට වාහනේටම වෙලා ඉන්න කියලා මිනිහා ගියා පොඩ්ඩක් ඔලුව දාලා එන්න. මාත් ඉතින් ආයේ මොකද කියලා වාහනේටම වෙලා හිටියා. (බයකට එහෙම නෙවේ ඉතින්, තවම බැඳලාත් නැති තනිකඩ කොල්ලා නේ).

මහා ලොකු වෙලාවක් යන්න කලින් පොර සේරම විස්තරත් හොයා ගෙන ආපහු ආවා. සිද්ධිය තමයි උල්හිටිය ජලාශේ ගාවම තියනවා උල්හිටිය දියවර ගම්මානය. මේකේ ඉන්න මිනිස්සු ගොවිතැන බත් වලටත් වඩා කෙරුවේ ජලශේ මාළු අල්ලලා විකුණන එක. වැඩි විස්තර කියන්න දන්නේ නැති උණත් ගම ගැන අහන්න හම්බුනු කතා නම් එච්චර හොඳ නෑ. ඉතින් කලින් දවසේ ගමේ කොල්ලෙක් කුදලාගෙන ගිහින් තියනවා කසිප්පු පෙරනවා කියලා. පස්සේ ඇප දීලා බේරාගත්තාට නිරපරාදේ තමන්ව කුදලාගෙන ගියා කියන එකට විරුද්ධව මේ මනුස්සයා විරෝධතාවයක් කරනවා. උදේ පාන්දරම පෙට්‍රල් බෝතලක් අරගෙන උල්හිටිය වම් ඉවුරු සොරොව්වේ පාලක කුටියේ වහලයට නැගලා. තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණේ ගැන හොයලා බැලුවේ නැතිනම් වහලෙන් බහින්නේ නෑ ලු. එකෙක් හරි බලෙන් බස්සවන්න හැදුවොත් ගිනි තියා ගන්නවා ලු.

උදේ ඉදලා ඔය විදිහට ඉන්නවා කියන්නේ

මම එතනට යද්දී වෙලාව 10 ට වගේ ඇති. උදේ පාන්දර 5 ට විතර වහලේ ට නැගපු ගමන් තමයි මිනිහා තවමත් ඉන්නේ. උල්හිටිය පැත්තේ රස්නය ගැන කෙනෙක් ට වචනයෙන් විස්තර කරලා දෙන්න බෑ. ඒක විඳලම බලන්න ඕනේ. උදේ 9, 10 වගේ වෙච්චි වෙලාවේ ඉදලා හැන්දෑවේ ඉර බහිනකල්ම වගේ ගල් කාෂ්ඨක අව්වක් තියෙන්නේ. පුරුදු නැති කෙනෙක් විනාඩි 10 ක් වගේ අව්වේ හිටියා නම් කැරකිල්ල වගේ හැදෙනවා. එහෙව් එකේ උළු වහලේ උඩ ඉන්නවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙවේ. මේ වෙද්දී ගමේ අයත් එතනට එකතු වෙලා. දෙපැත්තෙන් පාර හරස් කරලා. මේ පාර හරස් කලාම උල්හිටිය, රත්කිඳ පැත්තේ ඉන්න කෙනෙක් ට මහියංගණේ හරි පදියතලාව හරි පැත්තට යන්න ඕනේ නම් ගිරාඳුරු කෝට්ටේ ට ගිහිල්ලා ලොකු වටයක් ගහලා යන්න වෙනවා. නොසන්සුන් කාරී තත්ත්වය හින්දාම ගිරාඳුරුකෝට්ටේ පොලීසියත් එතනට ඇවිත් හිටියා. ඒ කියන්නේ මෙතන දී නම් විත්ති කාර පාර්ශ්වය. ගමේ කට්ටිය බයක් සැකක් නැතිවම පොලිසියට විරුද්ධතාවය දක්වනවා. පොලීසියත් මැදිහත් වීමක් කරන්නේ නැතිව පැත්තකට වෙලා බලාගෙන හිටියා.
මේ කාරණේ හින්දා යන්න CE ටත් කරන්න ගිය වැඩේ පැත්තක දාන්න උණා. එක හේතුවක් උනේ එතනින් එහාට වාහනේ ගෙනියන්න දීපු නැති එක. වාහනේ එතන දාලා උල්හිටියේ වාහනේ ගෙන්වාගෙන යන්න තිබ්බත් මේ මනුස්සයා නැගලා හිටියේ පාලන කුටියේ හින්දා නොහිතපු ගැටලුවක් මතු වෙලා තිබ්බා. නිකමට වත් මේ මනුස්සයා ගිනි තියා ගත්තොත් එහෙම පාලන කුටියම ගිනි ගැනීමේ අවධානමක් තිබ්බා. එතකොට සිද්ධ වෙන විනාශය ඒ මනුෂ්‍යාගේ ජිවිතය විතරක් නෙවේ. වම් ඉවුරු සොරොව්වේ පාලන කුටියේ යාන්ත්‍රික කොටසකට හානියක් උණොත් වතුර හරි විදිහට පාලනය කරන්න බැරි වෙනවා. එතකොට හරි විදිහට වතුර දෙන්න බැරි වෙනවා. එහෙම උනොත් ඊළඟ කන්නය වැඩ කරන්න වතුර නෑ. ඒකෙ ප්‍රතිපලය හිතනවාට වඩා ගොඩක් වැඩි. ඒ හින්දා සේරම පැත්තක දාලා ඉහල පරිපාලනය දැනුවත් කරන්න CE කටයුතු කළා. පැයක් දෙකක් එතන හිටියත් සිද්ධියට විසදුමක් හම්බුනේ නෑ. බදුල්ල මුලස්ථාන පොලිසියෙන් ඒ ගැන කතා කරලා විසදාගන්න කණ්ඩායමක් එනවා කියලා ආරංචිය ආවට පස්සේ තමයි CE එතනින් ආවේ. ඒ ඉන්න කාලය තුල පාර්ශව දෙකෙන්ම සිද්ධියට අදාළ කරුණු ගොඩක් කියවුනා. ඒ අතරේ අල්ලස් ගැනීම්, මාළු කාරයින් ගේ ගම හින්දා අඩු සැලකිලි වගේම ගම සම්බන්ධයෙන් ඉවරයක් නැති පැමිණිලි, නීති විරෝධී මත් ද්‍රව්‍ය ව්‍යාපාර වගේ දේවල් තිබ්බා උණත් ඒ කාරණා  ගැන වැඩිය කතා කරන්න අදහසක් නෑ. මොකද මේක සටහන් පොතක් විතරයි. දැකපු දේ කිව්වා මිසක් ඒ එක් එක් පාර්ශව ගැන අර්ථ කථන දෙන්න අදහසක් CE ට නෑ. හැබැයි දෙපාර්ශවය අතේම යම් තාක් දුරකට වරදක් තියනවා කියන එක තමයි CE ගේ අවසාන නිගමනය උනේ

Thursday, October 1, 2015

අම්මපා පුවක් වලට වෙච්ච දෙයක්

අමුතුවෙන් ආයේ කතා කරන්න දෙයක් මේකේ නෑනේ. පුවක් කොහොමත් ගණන් තමයි දැන්. පහුගිය මාස දෙක තුනක ඉදන් පුවක් ගණන් ගියපු තරම බැලුවාම ඉස්සරහට රත්තරන් වෙනුවට උකසට තියන්න උනත් බැරි වෙන එකක් නෑ. පුවක් ගණන් ගිය එකෙන් හොදටම පහර වැදුනේ  බුලත් විට කන කට්ටියට. රුපියල් 10 ට තිබ්බ බුලත් විට දැන් රුපියල් 30 40 ට එහා. උඩට පාට කරපු පොල් දාලා බුලත් කොලේක ඔතලා තියන පුවක් කෑලි තුන හතරයි, එනසාල් ඇටයයි, කරාබු නැට්ටයි තව කී නොකී කළමනා සේරම තියන සාර විටයක් උණත් මෙතුවක් කාලෙකට මෙච්චර ගණන් ගිහින් නෑ.
ඉස්සර ඉදන්ම CE ට බුලත් විට හපන්න වැඩි මනාපයක් තිබ්බේ නෑ. දානයකට මල ගෙදරකට ගිහින් බඩ පැලෙන්න කළා එලියට එද්දී ඉලත් තට්ටුවෙන් පුවක් කෑල්ලක් විතරක් හපන්නේ කෑම වේල සම්පුර්ණ වෙන්න මිසක් පුරුද්දකට නෙවේ. පුවක් මිල වැඩි උනත් හරි වැඩිම උණොත් වතාවක් දෙවතාවකට වඩා පුවක් කෑල්ලක් හැපුවේ නැති හින්දා ලෝක වෙළඳ පොලේ පුවක් මිල ගැන CE ට එහෙමටම අවබෝධයක් තිබ්බේ නෑ. වැඩ කරන තැන කට්ටිය කතා වෙනවා ඇහිලා දන්නවා මිසක් නැතිනම් පුවක් ගණන් ගිහිල්ලා කියලවත් දන්නේ නෑ.


පුවක් මිල ඉහල යෑමේ හොදම එක  උනේ පුවකයක් රුපියල් 10 ට නැග්ග එක. පොඩි කාලේ දී ඉදීලා බිමට වැටුණු පුවක් ගෙඩි 100ක් 200 ක් ඇහිඳ ගෙන කඩේට දුන්නා තවමත් CE ට මතකයි. හොදටම ගණන් කාලේ දී උනත් ගෙඩියක් සත 50 කට වඩා ගිය කාලයක් CE දන්නේ නෑ. එහෙව් එකේ පුවකයක් 10 ක් උණා කියන්නේ අදහා ගත නොහැකි ගානක්. අද පුවක් ගෙඩි 100 ක් තියනවා කියන්නේ එසේ මෙසේ වටිනාකමක් නෙවේ. ඇස් දෙක පියාගෙන රුපියල් 1000 ක් ගන්න පුළුවන්. අනික ඒ පුවක් හොඳ තත්ත්වයෙන් තියෙන්න ඕනෙත් නෑ. පුවක් උණා නම් ඒ ඇති. ඉස්සර කඩේකට පුවක් ගෙනිච්චොත්  එතනින් දෙකෙන් පංගුවක් අහක. හොදම ගෙඩි විතරයි කඩේට ගන්නේ. ඒත් අද ගොලෑ ගෙඩියක් උණත් උණු කැවුම් වගේ ඕන කඩේකට ගන්නවා. ගොලෑ කියන්නේ  පුවක් පැසීමට කලින් අවස්තාව. කිරි රසට හැපෙන පොල් කෑල්ලක් වගේ ගොලෑ ගෙඩිය කටින් උනත් ලෙලි අරින එක ඒ හැටි දෙයක් නෙවේ. හැබයි ගොලෑ පුවක් කන්නේ පරිස්සමින්. ඒ මොකද කියනවා නම් ඒවා ඉක්මනට මත් වෙනවා. විට කනවා නම් ගොලෑ පුවක් වලට වඩා පුවකය පැහෙන්න ඕන. අපේ පැත්තේ නම් එහෙම පුවක් වලට කියන්නේ හාල් පුවක් කියලා. හාල් පුවක් කියන්නේ පුවක් ගෙඩිය ඉදෙන්න කලින් තද කොළ පාට උනාම. මීට වඩා ඉදුනා උණත් විට කන්න හොඳ උණත් හාල් පුවක් ගෙඩියක් තරම් රසක් එවිට නැත.

හාල් පුවක්

පන්සලේ හොරෙන් කඩන්න ගිහින් හාමුදුරුවන් ගේ ගුටි කන්න පවා සිද්ධ උණු ලේන පුවක් හැරුණු විට බහුලව තියන පුවක් වලට වඩා පුවක් වර්ග දෙකක් CE දැක ඇත. ඒ අමුතු ලා කොළ පාටක් ඇති පිට පොත්ත තෙල් ගෑවාක් වගේ තියන රට පුවක් සහ රට පුවක් තරමටම ලොකු ඒත් සාමන්‍ය පුවක් වල පාටටම තියන රබ්බඩ පුවක්. රබ්බඩ පුවක් වල විශාලත්වය හැරුනාම වෙනසක් නැති උනත් රට පුවක් වල රසය ටිකක් වෙනස්.
කලින් කීවාක් මෙන් විට කෑමට ලොකු කැමත්තක් නැතත් පුවක් ගැන යාන්තමට වගේ CE ට අවබෝධයක් ඇත. ඒ CE ගේ තාත්තා කාලයක් මේ බිස්නස් එක කොරපු හින්දා. පුවක් තියන කාලේට ඒවා අරගෙන ලොකු ටැංකියකට දානවා. ඊටපස්සේ  වතුර දමා පල් වෙන්න තියන මේ පුවක් වලට කියන්නේ මඩ පුවක්. එක කන්නයකට පුවක් ලක්ෂයක් විතර වතුරේ දාන වල ආපහු ඔරවන්නේ මාස 3 කට 4 කට පස්සේ. හැබයි ඔරවන දවසට ඒ පළාතේ ඉන්න බැරි තරමට පල් ගඳයි. මේ ගඳ පුවක් ගෙඩිය ඇතුලටම අහලා තියන හින්දා ඒ පුවක් කෑමත් එපා වෙනවා. CE ට ගඳ උණාට මේ පුවක් වලට උණත් හොඳ ඉල්ලුමක් තියනවා. පුවක් වල ඔරවන දවසට ලොරි පිටින් ඇවිත් ගෙනියනවා මතකය. 
මඩ පුවක් දමනවා හැරුණම පුවක් කල් තබා ගන්නා අනිත් ක්‍රමය පුවක් කරුංකා කිරීම. ඉදුණු පුවක් කෙලින්ම අව්වේ දාන්න පුළුවන්. අව්ව අඩු කාලේක නම් කණු හතරක් හරහට හිටවලා එකට කිටි කිටියේ හිරවෙන්න ලණු වලින් වෙලපු පුවක් කීරී මැස්සක පුවක් දාලා යටින් දුම් ගහන්න ඕනේ. සතියක් දෙකක් හොදට දුම් ගැහුණාම මේ පුවක් කාලයක් තියාගන්න පුළුවන්. ලේන්නු උරා බීලා ගස් යට දාලා යන පුවක් කට්ටේට වේලුනත් ඉස්ම පිරිලා තියන ඉදුණු පුවක් ගෙඩිය වේලෙන කොට කොහු ගතිය හැදෙනවා. කුරුට්ට හිටින පුවක් හැරුනාම ගොඩක් ඒවා පදමට වේලෙනවා කියලා දැන ගන්නේ ටකස් ටොකොස් ගාලා පුවකේ ඇතුලේ හෙල්ලෙන කොට. පරිස්සමට ගලවා ගත්තාම පුවක් ලෙල්ල කොහු බුසියක් වගේ. මේවා රවුමට අලවලා ඉස්කෝලේ අත් වැඩ පංතියට ගෙනිච්චා කියලා CE ට මතකය.

කරුංකා

ඉදුණු පුවකයක් මෙහෙම වෙලුවාට අමු පුවකයක් වේලන කොට පොත්ත ඉවත් කරන්න ඕනේ. එහෙම නැතිනම් වේලෙන කොට කට්ටේට හිර වෙන පුවක් ලෙල්ල අයින් කරන්න යද්දී පුවක් ගෙඩිය තුවාල වෙනවා. තුවාල වෙන පුවක් නොම්මර එකට දෙන්න බෑ. කහට පුවක් විදිහට නොම්මර දෙකට හෝ තුනට ඒවා ගන්නේ. කහට පුවක් කියන්නේ මේ විදිහට පැත්තක් කැපුන පුවක් විතරමකුත් නෙවේ. හරියට පැහුනේ නැති පුවක් වේලන කොට කහට රහ වැඩි වෙනවා. ඒවාට වැඩි ඉල්ලුමක් නෑ. හොඳ පුවක් වෙන් කරලා ඉතිරි වෙන කහට පුවක් ගොඩවල් ගාණට මුදලාලිට දෙනවා. ගාන රවුම් කරන්නේ මේ පුවක් ගොඩ වල් වලින්. 
මේ හින්දා අමු පුවක් කුරු ගහන්න ඕනේ. ඒකට පොඩි පිහාතලයක් අරන් වරුවක් තිස්සේ ඉදගෙන පොත්ත ගලවන්න ඕනේ. මෙහෙම පුවක් කූරු ගහන කොට CE ගේ සීයා කියලා දුන්නු කුඹුරු කොටන විදිහ තවමත් හොදට මතකය. පුවක් ගෙඩියක් සම්පුර්ණයෙන්ම කූරු ගසන්න උවමනා නැත. එකක් ඇර එකක් වෙන්න පොඩි පොඩි පටි අයින් කෙරුවා නම් හොදටම ඇති. 
මේ දවස් වල හොඳ කරුංකා ගෙඩියක් කියක් දීලාවත් ගන්න නෑ. ඒ තරමට පුවක් හිඟය. හොදට වේලුනාට පස්සේ පුවක් කපන එකත් එසේ මෙසේ වැඩක් නෙවේ. හතර පස් දෙනෙක් වටේ ඉදගෙන පුවක් කපන්න ඕනේ. පැයක් දෙකක් පුවක් කපන කොට ගිරයට අහුවෙන ඇඟිල්ල පුපුරු ගහන තරමට රිදෙන්න ගන්නවා. එතකොට කරන්නේ රෙදි පටියක් අරගෙන ගිරයේ අඬු දෙක හොදට වෙලා ගන්න එක. CE ගේ තාත්තා පැයකට පුවක් 100 කට එහා කපනවා. ඒත් ඒකෙන් භාගයක් වත් කපා ගන්න CE ට බැරිය. පුවක් කපන කොට එපාම වෙන්නේ කුරුට්ට තියන පුවක් අහුවෙන එක. මේවාගේ කුරුට්ට අරින්න වෙනවා.
හොදට වේලුනු කරුංකා ගෙඩියක් කටේ දමා හපන්න ලේසියකින් කෙනෙක්ට බෑ. එක්කෝ ගලකින් ගසා කඩා ගන්න වෙනවා. නැතිනම් පෙත්තට ලියන්න වෙනවා. පන්සලේ දැහැත් වට්ටියට පුවක් තියන කොට කරන්නේ ඒ විදිහට පෙත්තට ලියන එකය. කරුංකා හපන විට නම් මේ විදිහේ පෙති හත අටක් බුලත් කොළයක තබා කන්න CE ගේ අකමැත්තක් නෑ. ඒත් ගොඩක් වේලාවට කරන්නේ හාල් පුවක් කෑල්ලක් හක්කේ තියලා ටකස් ගාලා හපලා කන එක. 
පුවක් කනවා කියන එකත් ලේසි නෑ. ගොඩක් අය දන්නේ නැති උණත් සමහර පුවක් වලින් ඉක්මනට මතේ ගහනවා. යාන්තමට කන් අඩිය රත් වේ ගෙන එන එක ඕනෑම පුවකයක් හැපුවම වෙනවා උණත් සමහර පුවක් කන විට ඉහින් කණින් දාඩිය වැක්කෙරන්න ගන්නවා. කරකැවිල්ල විතරක් නෙවේ ඇදගෙන ඉන්න ඇදුමේ ම මල පහ වුනු අවස්තාවක් ගැන CE අහලා තියනවා. ඒ ඔට්ටුවට මත් වෙන පුවක් ගෙඩියක් කන්න ගියපු CE ගේ ගමේ කෙනෙක් ගැන. 
මේ විදිහට පුවක් ගැන විස්තර මතක් උනේ ලඟදි CE ගේ නෑදෑ කෙනෙක් නැති වුනු වෙලාවේ පුවක් හොයන්න ගිහින් කාපු කට්ට හින්දා. වෙනදා වත්තේ ගස් දෙක තුනකට ගොඩ උනාම පුවක් ගෙඩි තුන් හාරසීයක් ලේසියෙන්ම කඩා ගන්න පුළුවන්. පුවක් වල්ලක ගෙඩි 100 කට එහා තියනවා. ගෙඩි 200 ක් 300 ක් කියන්නෙත් ඒ හැටි පුදුම වෙන්න දෙයක් නෙවේ. ඒත් මේ කන්නයේ පුවක් ගස් වල ගෙඩි 20 කට වඩා තියෙන්නේ එහෙමත් ගහක. ළඟ පාත වතු දෙක තුනක බලලා ගොලෑ ඉති දෙක තුනකුත් කඩා ගෙන මළ ගෙදරයි පින්කම් ගෙදරයි වැඩ ටික ඉවර වෙනකල් යාන්තමට ජාමේ බේරා ගන්න පුළුවන් උණා. හැබයි දැන් දැන් හැදෙන ඉති වල ආපහු ගෙඩි ටිකක් වැඩි හින්දා තව මාසෙකින් දෙකකින් වගේ පුවක් මිල ආපහු බහිවී. වැඩ කරන මිනිහාගේ ඉදන් ඔෆිස් එකෙන් එලියට බැහැලා ටයි එක සාක්කුවේ දාගෙන ගිහින් බුලත් විට ගන්න ලොකු මහත්වරුන්ට උණත් මේක නම් හොඳ ආරංචියක් වෙයි.