Tuesday, February 11, 2014

අපේ සීයා කුඹුරු කොටපු හැටි

ඔය අපේ සීයා ඉන්නවා නේද? ඉන්නවා කිව්වාට දැනට නැති වෙලා අවුරුදු අටකටත් කිට්ටු වෙනවා. අනේ කාටවත් කරදරයක් නැතිව හිටපු මනුස්සයා. ඇඟේ හයිය තියනකල් නිකන් ඉන්න නම් කැමති උණේ නෑ. කැත්තක් උදැල්ලක් මන්නා පිහියක් අරන් මොනවා හරි කරන එකමයි වැඩේ. අවසාන කාලේ බැරි ගැහිලා එක තැන් වුන දවස් හැරුනාම අනිත් හැම දාම දුවලා පැනලා වැඩ කෙරුවා. කොල්ලා කාලේ ඉදන්ම වැඩ කරපු පුරුද්දනේ. ඉතිං අද මේ කියන්න යන්නේ පුංචි එකා කාලේ මට කුඹුරු කොටන්නේ කොහොමද කියලා කියලා දීපු විදිය ගැන.


ඔය කාලේ ඉතිං අපිටත් එසේ මෙසේ ගායක් නෙවේනේ තිබ්බේ. සියාලාගේ ගෙදර වටේ තිබ්බ රඹුටන් ගස් වල යන්තම් ගැටේ කාලේ ඉදන්ම සීයාගේ මුණුපුරෝ ටික එකතු වෙලා වැඩේ දෙන හින්දා සීයාට අපිව වදයක් උණත් වත්තේ පිටියේ හැදෙන පුවක් ගෙඩිය කඩා ගන්න වගේ දේකට අපිව නැතිව බැරි හින්දා වැඩිය මොකවත් කියලා නෑ. එහෙම කඩන පුවක් කූරු ගහලා අව්වේ වේලන්න ඕනේ කරුංකා කරන්න. ඒක එසේ මෙසේ වැඩක් නෙවේ. උදේ ඉදන් හැන්දෑ වෙනකල් පෙලක් දවස් වලට පුවක් කූරු ගහන්න ඕනේ. එහෙම දවසක කාන්සිය මැකෙන්නත් එක්ක තමයි අපේ සීයා මට කුඹුරු කොටන හැටි කියලා දුන්නේ. ආයේ වෙනසක් නෑ උන්දෑගේ වචන වලින්ම තමයි ඔය තියෙන්නේ.


ඉස්සර පුතේ තනියම කුඹුරක් කොටනවා කියන්නේ ගැටයෙක් මිනිහෙක් උණා කියන එකටයි. පෙලවාහයක් එහෙම කරගෙන, කුඹුරක් එහෙම කොටලා ඉවරවෙනකල් ගමේ කවුරුත් කිසිම කොල්ලෙක් කියන දෙයක් කණකට ගන්නේ නෑ. මමත් උඹලාගේ කිරි අම්මා කැන්දාගෙන ඇවිල්ලා යන්තම් පෝය දෙකක් යන්න කලින් අපේ අපුච්චා මට පල්කඩේ වැඩ කරන්න කිව්වා. උඹලාගේ මහ එකාටවත් දැන් නම් අපේ අපුච්චා ගැන මතක නෑ හරියට. ඇඟ නම් ලොකුවට නෑ. හින්දාරි මනුස්සයා. ඒ උණාට යකඩෙන් වාත්තු කලා වගේ ඇඟ. මටත් ඉතිං ආයේ ඊට වඩා දෙයක් නෑ පටන් ගත්තා හිතේ හයියට. 
ඒ කාලේ ගොයම් කපන මැසීම් එහෙම නැති හින්දා අත්තමට තමයි වැඩ කරන්නේ. අද නම් මොනවද ගෙදර එවුන් ටික එකතු උණා නම් වැඩේ අහවරයි නොවැ. ඒත් අර දවස් වල එහෙම නෑ. අත්තමකට දෙකකට  මුලින්ම ගිහිල්ලා මුණ පෙන්නලා එන්න ඕනේ. අපි වගේ ගැටයෙක් ගේ ඒවාට එනවා හරි හොරයි කට්ටිය.
දැන් ඔය පන්සලට එහා පැත්තේ ඉඩමේ අලුතෙන් ගෙයක් හදාගෙන ඉන්න සුගත් ළමයාගේ සීයා තමයි ඒ කාලේ ගමේ නමක් තියාගෙන හිටියේ. අනේ උන්දැත් එක්ක ඒ සේරම ඉවරයි. පුත්තු ටික සේරම නැති කරලා දැම්මා. ඉස්සර එහෙමද, කුඹුර කපන දවසට ගමේ සේරම එතන. ගමේ ඉන්න ගැටව් විතරක් නම් මදැයි, අනිත් සේරමල්ලාත් එදාට එතන. ගිහිල්ලා ඔලුව පෙන්නාලා එනවා අපිත්. එහෙම වෙලාවකට අපේ සියාතු මාමා - අර උඹලගේ ලොකු නැන්දා බැඳලා ඉන්නේ උන්දැගේ මුනුපුරෙක් නොවැ - කියනවා "මේ අපේ මලයාගේ ලොකු කොලුවා අලුතෙන් කුඹුරක් කොටනවා නොවැ" කියලා. එහෙම වෙලාවකට මුණ දිහා හොදට බලලා කියනවා "යසයි නොවැ කොලුවෝ කරගෙන පලයන්. අපිටත් කියහන්කෝ කුඹුර කපන දවස් වලට. ඇවිල්ලා යන්න එන්න බැරිය". එහෙම කිව්වට උන්දැ කවදාවත් එහෙම කුඹුරකට අඩිය තියනවා නම් නෙවේ. ඇත්තටම ගමේ ඉන්න හැම එකාගෙම කුඹුරු වලට යන්න උණා එහෙම උණා නම්. ආයේ වෙන වැඩක් නැති වෙයි උන්දැට. හැමෝම දන්න කියන කෙනෙක් ගේ කුඹුරකට නම් ගොඩවෙලා යනවා පුරුද්දට වගේ. ඒ උණත් පාරේ යන ගමන් දැකලා අපි වගේ ගැටයෙක් ගේ කුඹුරකට ගොඩවෙලා ගොයම් ගහක් දෙකක් කපලා යන වෙලාවල් එහෙමත් නැතුවා නොවෙයි. එහෙම දවසක් කියන්නේ අපි වගේ එකෙකුට හරි ලොකු දෙයක්.
එතකොට තව ඉන්නවා අර කිව්වා වගේ සීයාතු මාමා, එතකොට කුඹුක් ගහ ගාව ගෙදර ගුණදාස මාමා. උන්දැලා තමයි ගමේ අලුතෙන් ගැටයෙක් කුඹුරක් කොටන්න පටන් ගත්තාම මුල ඉදන් කියලා දෙන්නේ. කපන දවසට අනිත් අයට පණිවිඩේ දෙන්නෙත් උන්දැලා. එදා උදේ සේරටම කලින් කුඹුරටත් ඇවිල්ලා වැඩ ටිකත් කරලා දෙනවා. 
එතකොට ආයේ එකතු වෙනවා අපි වගේ ගැටව් ටික. මොකද උන් දන්නවා අලුතෙන් කුඹුරක් පටන් ගත්තාම තියන කරදර. තමන්ගේ කුඹුර වගේ ඇවිල්ලා සේරම කරනවා. එක කතාවට වැඩ ආයේ. ඔය අල්ල පනල්ලේ එදා දවසට ඇවිල්ලා උදව් දෙන අය. හදිස්සියට දැකලා උදව්වක් කරලා යනවා. ආයේ දකින්නෙත් කලාතුරකින්. 
ඉතිං කවදාහරි දවසක උඹලාට තමයි ඔය පල්කඩ කොටන්න වෙන්නේ. එදාට මතක තියා ගනිල්ලා, යන්න පුළුවන් හැම අත්තමටම පලයල්ලා. ඒ අය ආපහු ආවේ නෑ කියලා හිතන්න එපා. සමහරක් විට උඹලා දෙතුන් දොහේ ගියත් කවදාවත් උඹලගේ කුඹුරට අඩිය තියලා නැති උණත් දිගටම පලයල්ලා. ඒ වගේම තමයි ගමේ ඉන්නවා මිනිස්සු සේරම සලකන අය. ඒ මිනිස්සුන්ට හැම කුඹුරක් ගානේම ඇවිදින්න වෙලාවක් නෑ. පුළුවන් වෙලාවට ඇවිත් යයි. ඒ උඹලා වගේ ගැටව් අමතක කරලා නෙවේ. හැම දේකටම වේලාවක් නෑ මිනිහෙකුට. ඊටත් වඩා ටික දොහක් කුඹුරක් කොටලා හරි හමන් මිනිහෙක් උණොත් ඒ මිනිස්සු නෑවිත් ඉන්නේ නෑ. ඒ මොනවා උණත් ඒ මිනිස්සු කුඹුරක් කොටන වෙලාවට උඹලත්  යන්න ඕනේ. එතනින් තමයි උඹ ගැන ගමේ අනිත් එවුනුත් දැන ගන්නේ. එතකොට සියාතු මාමා වගේ කට්ටියට කුඹුරු කොටද්දී විතරක් නෙවේ වෙන උදව්වක් ඉල්ලුවත් කොහොම හරි කරලා දීපල්ලා. උන් රත්තරන් වගේ වටින මිනිස්සු. තව උඹලා ගැටව් ටික එක කතාවට ඉදපල්ලා. අලුතෙන් එකෙක් ආවත් එකාව ගසා තෝරන්නේ නැතුව උඹලට එකතු කර ගනිල්ලා. එහෙම කෙරුවොත් කවදාවත් වරදින්නේ නැති වෙයි උඹලට.
සීයා කියපු විදියට නම් මට තාම පල්කඩ කොටන්න යන්න උණේ නම් නෑ මොකද අපේ තාත්තා එකේ වැඩ කරන හින්දා. ඒ හින්දා කුඹුරු කොටන එක පැත්තකට දාලා හරියටම මීට අවුරුද්දකට කලින් මම බ්ලොග් එකක් කොටන්න පටන් ගත්තා. මුල් කාලේ නම් මේකේ ගන්න දෙයක් තිබ්බේ නෑ. කුඩමැටි විතරයි. දැන් තමයි යාන්තමට ගොයම් කොළයක් තියන්නේ. ඉතිං එහෙනම් සේරටම ගොඩක් ස්තුති වන්ත වෙනවා අවුරුද්දක් පුරාවට ආවට.

41 comments:

  1. කුඹුරු කතාව බ්ලොග් වලට අපුරුවට ගැලපෙනවා
    අඩෝ අවුරුද්දක් වෙනවද බන් ???සුභ පැතුම යක්ෂයා ..දිගටම හිටහන් ...

    ReplyDelete
    Replies
    1. මුල්ම කාලේ යාන්තමට සැරයක් දෙකක් කොටලා තිබ්බාට මේ ළඟදී තමයි ආපහු කැලේ එලි කරලා ගත්තේ

      Delete
  2. සුබ පැතුම් අවුරුද්දක බ්ලොග් කෙරුවාවට... !!
    අපේ තාත්තා අඳේට කුඹුරු ගත්තහම මාත් කුඹුරු කොටලා තියෙනවා.. ඒක නෙමේ ගොඩ කක්කුට්ටෝ අල්ලලා තියේ ද ? :)

    ReplyDelete
    Replies
    1. ගොඩ කක්කුට්ටෝ අල්ලලා නම් නෑ. ඒත් කුඹුරු කොටන කාලේට මඩේ ඉන්න එවුන් නම් අල්ලලා තියනවා.
      ස්තුතියි සුභ පැතුමට

      Delete
  3. සුබ පැතුම් යක්ෂ..! :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි සුභ පැතුමට

      Delete
  4. සුභ පැතුම් යකා!
    හරිම වටින කතාවක් නොවැ !
    කුඹුරු කෙරුවාවටයි බ්ලොග් කෙරුවාවටයි විතරක් නෙවෙයි, ජීවිතේටත් අදාලයි!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් බන්, හැබැයි එච්චර දුරට හිතුවේ නම් නෑ හැබැයි

      Delete
  5. ගොඩක් ලස්සනයි

    ReplyDelete
  6. හරි අපූරු කතාවක්, ඇත්තටම ඒ කාලේ මිනිස්සුන්ට තිබුන හිතේ හයිය වගේම එකමුතුකම දැන් තියෙනවද කියල හිතන්නත් අමාරුයි. මමනම් කියන්නේ අදටත් ගම් වල සමාජය ආර්ථික අතින්වත් වෙන මොන අතකින්වත් නොදියුණු නෑ කියන එකයි.

    ReplyDelete
  7. කුඹුරු කෙට්ටිලයි බ්ලොග් කෙටිල්ලයි දෙකම එක වගේ තමයි ඉතින්.. සුභ පැතුම් කිවුවා ඔන්න එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි දිනේෂ් අයියේ

      Delete
  8. හරිම රහයි යක්ෂයෝ,බ්ලොග් කෙටිල්ල වාගෙම කුඹුරුත් කොටල බලපංකො.අවුරුද්දට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොරුවට ආටෝපෙට කියන්න තරම් නම් කුඹුරේ වැඩට හුරු නෑ. ඒත් එහෙමටම කියලා නුපුරුදු තැනකුත් නෙවේ හැලප අයියේ. ගෙදර හිටියොත් අනිවා වේලට බහිනවා. ගොඩාක් ස්තුතියි සුභ පැතුමට

      Delete
  9. "ඉස්සර පුතේ තනියම කුඹුරක් කොටනවා කියන්නේ ගැටයෙක් මිනිහෙක් උණා කියන එකටයි." ඒ ඉස්සර දැන් ගැටයෝ නම් මිනිසු වුනා කියන්නකරන් දේවල් ගැන කියලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. කාලේ වෙනස් තාලේ අලුත් කියලා කියනවා නේ ඉවාන් අයියේ

      Delete
  10. උඹේ ඔය සීයාගේ කුඹුරු කෙටිල්ල කතාව බ්ලොග් වලට හරියනවා. කොහොමද මතක්වුනේ? දිගටම ලියපන්...දිගටම කියවපන්....කරලුත් එයි....කුරුල්ලොත් එයි....වල් පැලෑටිත් එයි. සුද්ධ පවිත්‍ර කරගෙන වැඩේ කරගෙන යන්න...මෙන්න මගෙන් කිඹුලා ලකුන උදළු තලයක්. කුඹුරට විතරක් පාවිච්චි කරහන්.

    ReplyDelete
    Replies
    1. අම්මාට සිරි කිඹුලා උදැල්ල.... කපන්න කපන්න මුවහත් වෙනවා නොවැ. ගොඩාක් ස්තුතියි අරු අයියේ.
      අනේ මන්දා මේක නම් මේ නිකම්ම ඔළුවට ආවේ

      Delete
  11. අවුරුද්දක බ්ලොග් සැරියට සුභපැතුම්!!! දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි බස්සිට

      Delete
    2. මූට අවුරුද්දක්ද බස්සියේ.මට ලැජ්ජාවෙත් බෑ මට තව මාස දෙකයි ඉහි ඉහි

      Delete
    3. වයස නෙවේ යකා වටින්නේ ලියපු දේවල්. පහුගිය අවුරුද්ද පුරාවට මම ලියපු ඒවාට වඩා සිය දහස් වාරයක් වටිනා දේවල් මේ මාස දෙකට උඹේ බ්ලොග් පිටුවේ ලියැවිලා තියනවා. ඉතිං මමයි ලජ්ජා වෙන්න ඕනේ බන්

      Delete
  12. සුභ පැතුම් යකෝ...කුඹුරු කොටලා නම් නෑ එත් ගොයම් කපලා නම් තියෙනවා..ඒ අතීතය මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. ඒ මතකයන් හරිම සුන්දරයි නේ

      Delete
  13. මට නම් කුඹුරු කෙරුවාව එපා වෙලා බන්.මහන්සිය විතරයි.අනාගතයක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපිට නම් මහා ලොකුවට නැති හින්දා කන්න විතරක් කුමුරු කෙරුවාව කරනවා. ඊලඟ කන්න වෙනකල් පිරිමහා ගන්න යාන්තමට වගේ ඇති.

      Delete
  14. යක්ෂයාගේ සීයා හරිම අව්‍යාජය මනුස්සයෙක් ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවිත කොයි තරම සරලද හොඳද කියල හිතුන කියවන යද්දී

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඒ කාලේ මිනිස්සු ගාව ඒක ඇඟේම තිබබා කෝරලේ මහත්තයා

      Delete
  15. අප්පේ අවුරුද්දක් ගිහින්ද සුබ පැතුම් ඈ

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ. අවුරුද්දක්ම වෙලා. කොහොමත් මේක මීට මාස දෙකකට කලින් ඉදලා තමයි හරියට ආපහු පටන් ගත්තේ

      Delete
  16. යකයි යක්ෂයි පැටලිච්ච එක මතක් උනා, ඔයාගේ ලිපිය අකුරක් නෑර ආසාවෙන් කියෙඋවා ,මේ දේවල් මගේ ජීවිතෙත් හරිම සමීප දේවල් .. මාත් ලබන මාසෙට අවුරුද්දයි බ්ලොග් එකට ,, දිගටම ලියමු හොදේ,,

    ReplyDelete
    Replies
    1. ඒ පැටලීම හින්දා හොඳ යාලුවෙක් හදුනා ගත්තානේ. මේ දවස් ටිකේ විභාගේ. ඉවර උණු ගමන්ම පටන් ගන්නවා ආපහු

      Delete
  17. අප්පේ අවුරුද්දක් වෙනවද බ්ලොග් එකට :O සුභ පැතුම් මල්ලි...දිගටම ලියන්න.
    ජය!!!!

    ReplyDelete
    Replies
    1. මුල්ම කාලේ ඉතිං නිකම් වගේ තිබ්බේ. ඒ කාලෙත් එක්ක තමයි අවුරුද්ද

      Delete
  18. ඔක්කොම අය එකම කාලෙද මන්ද ලියන්න පටන් අරන් තියෙන්නෙ... මේ දවස් වල බ්ලොග් ඇනිවසරි වැහි වැහැල...
    අපේ පැත්තෙ නං තාම අත්තමට තමා වැඩ... හා හා පුරා කියල මාත් බැස්ස කුඹුරකට... හැබැයි කස්ටියම හොද කීව කියන්නකො....
    චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එහෙනම ඉතිං අනාගතය හොදයි. අලවෙනි පාරම හොඳයි කිව්වා නම් ආයේ බය වෙන්න දෙයක් නෑ.

      Delete
  19. සුපිරියට ලියල තියේනවා !!

    ReplyDelete
    Replies
    1. පරණ මතකයක් අවුස්සලා ගත්තට ගොඩක් ස්තුතියි

      Delete
  20. thuốc bổ xương khớp của mỹ 1500mg nếu như bạn đã biết đến sản phẩm này thì ngày hôm nay với một công thức mới đột phá trong một sản phẩm mới bổ sung Glucosamine lên đến 2000mggiúp xương của bạn trở nên chắc khỏe hơn bao giờ hết.
    thuoc bo xuong khop cua my
    thuốc uống làm trắng da ivory caps pillsIvory Caps được chiết xuất từ các hợp chất hoàn toàn tự nhiên với công thức tăng gấp ba lần Glutathione Complex 1500mg, cung cấp các dưỡng chất cần thiết sẽ làm trắng da từ bên trong
    thuốc ivory caps
    ivory cap pills
    Thuốc uống trắng da ivory capsThuốc uống làm trắng da tự nhiên với Glutathione 1500mg Ivory Caps Pills - GIÁ 850K

    Thuốc bổ xương khớp GlucosamineGlucosamine là thành phần chủ yếu có tác dụng bôi trơn cho khớp xương, cũng là chất cần thiết để hình thành tế bào sụn.
    thuốc xương khớpNgười và động vật đều tự tái tạo glucosamine trong cơ thể nhưng khi tuổi tác càng cao, tốc độ tái tạo lượng chất này càng giảm, cộng với quá trình thay cũ đổi mới của tế bào sụn,
    thuoc bo xuong khopdẫn đến lượng glucosamine càng bị thiếu trầm trọng hơn, điều này dẫn đến độ dày của sụn sẽ mỏng hơn, bề mặt khớp bị thoái hóa, các khớp không ma sát, bôi trơn với nhau, từ đó tạo thành các cơn đau, lâu dần khớp sẽ thoái hóa.
    thuốc bổ xương khớpNgười có tuổi (như tuổi ngoài 40), người có vấn đề về xương khớp nên bổ sung lượng Glucosamine Chondrointin để tăng cường chất bôi trơn cho khớp,

    ReplyDelete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න