රස කතා, පරණ කතා විතරක් ලියලා හරියන්නේ නැති හින්දා යකාට ත් හිතුණා පහුගිය ටිකේ පොඩ්ඩක් ගැඹුරු දෙයක් ගැන ලියන්න. ගැඹුරුයි කිව්වේ ඉතිං පත දාරු ළිදක් වගේ නෙවේ, ඔය පොල් වලක් වගේ යාන්තමට ගැඹුරු එකක්. ඒත් මේ දවස් වල ඒ විදියේ දෙයක් ගැන ලියන අන්තිම භයානකයි කියලා හිතුණේ පහුගිය ටිකේ ඒ වගේ ලිපි වලට ගියපු හරබර ගැටුම් වලට භය වෙලා නූල් බදින ගානට ආපු හින්දා. යකා වගේ පොඩි එකෙක් - පොඩියි තමා යකෝ, තාම ගෙදරින් කන්නේ, බොන්නේ - ලියන දෙයකට ලොකු කට්ටිය පස්සෙන් එළවන්නේ නෑ කියලා දන්නවා. වැඩිම උණොත් කණෙන් අල්ලලා ටොක්කක් අනියි. ඒත් යකාට තව ටික දවසක් පස්ස ගහන එක ඇඟට ගුණයි කියලා හිතෙනවා. අනික මේ නත්තල් කාලේ, නිවාඩු පාඩුවේ ඉන්න වේලාවේ හීනියට යන පරණ කතාවක් වැඩියෙන්ම ගැලපෙයි කියලා හිතුණා හින්දා එහෙම එකක් ලියනවා අදත්.
ඔන්න ඉතිං නත්තලත් ආවා. යකා ටිකක් උදේ පාන්දරම නත්තලට ආරම්භයක් ගත්තා උණාට නත්තල එනකල්ම ඒ ගැන ආයේ හිතන්නවත් බැරි උණා. ගොඩ දවසකින් ගෙදර ඉන්න එක තමයි හිතට පොඩ්ඩක් හරි සහනයක් දෙන්නේ. නත්තල ඉවරයි කියන්නේ ඊලඟට එන්නේ අළුත් අවුරුද්ද. එපාම වෙන වැඩේ තමයි 31 රෑ ඉදලා එක එකාට කෙටි පණිවිඩ යවන එක. යකා ඉස්සර නම් නෑදෑයන්ට එකයි, හොඳම යාළුවන්ට එකයි, අනිත් අයට එකයි අරයාට තව වෙනම එකයි වගේ ගොඩාක් කලින්ම හදාගෙන ඉන්නවා. එක පාරක් ජංගමයේ තිබ්බ අංක සේරටම යැව්වා. ඒත් ඒක මහා ගොන් වැඩක් කියලා යකාට දැන් තේරිලා හොඳටම. අර හලාල් කේස් එක එන්න කලින් ඒ ගොනා තම්බිට දීලා දැම්ම හින්දා දැන් එච්චරටම ගොන් වැඩ කරන්නේ නෑ. පතරංග ජාතකේ වගේ ලියලා අරින්න හිටපු එකිත් නැති උණාට පස්සේ කාටවත් විශේෂයක් කියලා සුභ පතන්න දෙයක් මේ අවුරුද්දේ යකාට නෑ.
හැබැයි ඉතිං බ්ලොග් එකේ ඉන්න සේරටම නම් බොක්කෙන්ම සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් කියනවා ඔන්න - ආයේ මගේ අතින් කියක්වත් යනවා කියලයැ - සේරටම කලින්. ඔය සුභ පතන හැම වෙලාවෙම යකාට මතක් වෙන්නේ බදුල්ලේ ඉද්දි සයිට් එකේ හිටිය සිරා පොරක් ගැන කතාවක්. අද ලිපියටත් ලියන්න ගොඩක් දෙයක් නැති හින්දා ඒක ගැන ලියලාම දානවා ඔන්න ඔහේ. මිනිහගේ නම විජේපාල. ඒ උණාට කිසිම කෙනෙක් විජේපාල කියන්නේ නෑ. කියන්නේ "රිමෝට්" කියලා. මටත් මාරම අවුල මොන කෙහෙල් මලකට මේ යකාට විජේපාල කියනවාද කියලා. මම දවසක් දෙකක් බලලා බැරිම තැන අපේ ඩ්‍රැවා කෙනෙක්ගෙන් ඇහුවා මොකක්ද මේ සීන් එක කියලා.
මිනිහාත් කියාපි, "ඕක කියලා වැඩක් නෑ, කරලාම පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න මහත්තය" කියලා මට demo එකක්ම දෙන්න හැදුවා. මේ වෙලාවේ විජේපාල ටිකක් ඈත තැනක හිටියේ.
අපේ ඩ්‍රැවා, "ඒයි රිමෝට්" කියලා කතා කලාට විජේපාල ඔලුව උස්සලා රවලා බලලා වගේ වගක් නැතුව ආපහු වැඩේට බැස්සා.
"මේ... මෙන්න මහත්තයා උඹට කතා කරනවා" ඒ ගමන මේකා මාවත් අල්ල ගෙන.
ඒ පාර නම් කර කර හිටපු වැඩේ පැත්තක දාලා මිනිහා අපි ඉන්න පැත්තට ආවා. ටිකක් දුර එන්න ඇරලා අපේ ඩ්‍රැවා "ඔන්න බලාගන්න දැන් කොහොමද වැඩේ" කියලා විජේපාල දිහාට අත දික් කෙරුවා. බුදු අම්මෝ එක පාරටම ගුවනට එකතු වුණු සුමධුර සුභාෂිත පද වැල ගැන ආයේ කතා කරලා වැඩක් නෑ. හැම වෙලේම එන්නේ එකම වචන සෙට් එකක් කියලා තේරුනේ එකම පරීක්ෂණය දෙතුන් වතාවක් කෙරුවට පස්සේ. ඒක මෙතන කියන්න බැරි තරම් සුපේශල හින්දා දාන්න විදියක් නෑ. හැබයි කාගේ හරි පුතෙක් ගැන තමයි කිව්වේ.
මෙතන තියන වැදගත්ම දේ තමයි ඇඟට අතක්වත් තියන්නේ නැතුව අඩි 20ක් 30ක් දුර ඉදලා උණත් මේ පද පේළිය එළියට ගන්න පුළුවන් වෙන එක. රිමෝට් කියන නම ඇවිල්ලා තියෙන්නේ ඒක හින්දා. ආයේ ඉන්න කවුද, තැන කොහෙද දන්නේ නෑ කියලා දානවා මේක. දැන් කට්ටියම බලනවා ඇති මේකත් අපේ හැලප අයියාගේ ලිපියක් වගේ අගක් මුලක් නෑනේ කියලා. පොඩ්ඩක් ඉදාපල්ලා එතනට එන්න හදන්නේ. තම්පලා ගහක් කපන්න කලින් වටේ සුද්ද කරන්න එපාය. ඉතිං මේ වගේම නත්තලක් ගෙවිලා අලුත් අවුරුද්දක් ලබපු දවසක උදේ පාන්දරම අපේ විජේපාලත් නම ලකුණු කරන්න එද්දී මුණට හම්බෙලා තියෙන්නේ අපේ කලින් හිටපු DGM. හොඳ නෑනේ අලුත් අවුරුද්දනේ කියලා අපේ විජේපාලත් අත් දෙක ලං කරලා සුභ පතන්න හදලා. එතකොටම - හරි හරි ඔය හිතන එක තමයි, රහ කරලා කියන්න දුන්නා නම් - සර්ට පිටිපස්සෙන් හිටපු අසමාජ්ජාතියෙක් සර්ට හොරෙන් විජේපාලට අත දික් කරලා. අළුත් අවුරුද්ද දවසේ ඒ වගේ මධුර වචනයක් සවනට වැටෙද්දී ඇති වන සන්තොසය පොඩ්ඩක් හිතලා බලන්න ආයුබෝවන්ඩ.
dahne1.blogspot.com |
එදායින් පස්සේ ටික දවසක් යනකල් විජේපාල සර්ගේ මුණවත් බලලා නෑ. සර් නම් ඒක ගණන් අරගෙන නෑ. මොකද මිනිහාගේ හැටි දන්න හින්දා. අපේ කට්ටිය ඊට පස්සෙවත් මේක නවත්තලා නෑ. කවුරු හරි මිස් කෙනෙක් ළඟ ඉන්න තැනක විජේපාල ඉන්නවා කියන්නේ නිකන් දුන්න ස්වීප් එකක් මුන්ට. ඈත ඉදන් අතක් දික් උණ ගමන් ගෑණු මනුස්සයා ඔෆිස් එක ඇතුළට දුවන්නේ මුණ බිමට හරවාගෙන. කාඩ් එක කුඩු වෙන හින්දා අපි නම් ඒ වගේ වැඩ කරන්න ගියේ නෑ. අනික පවුනේ අර අහිංසකයා - බොරු නෙවේ ඇත්තටම යකෝ කියන්නේ මම නම් කෙරුවේ නෑ -
ඕකේ හොඳම කෑල්ල අහගත්තේ සයිට් එකේ හිටිය TO විජේපාලව මම ඉස්සරහා කතාවට අල්ලා ගත්ත වෙලාවක.
"දැන් ගෙදර ගෑණු මනුස්සයා එහෙම ලඟට එන්නේ නැද්ද බන් එතකොට"
"ඒකි මට කිට්ටු වෙන්නේ නෑ මට බයයි නේ මහත්තයා"
"එතකොට උඹේ අර ඉන්න පුතා ආවේ කොහොමද බන්?"
"අයියෝ මහත්තයා මේ පොඩි මහත්තයා ඉන්න තැන අහන දේවල් ද ඔය? තාම ඉගෙන ගන්න පොඩි කට්ටියනේ. ඕවා කියලා නරක් කරන්න හොඳ නෑ" - මම කියන්නේ බොරුද? මම පොඩි එකා කියලා -
"අනේ නිකන් හිටපන් බන්. මේ මහත්තයා කැම්පස් එකේ ඉදලා ඇවිල්ලා ඉන්නේ ඔය සේරම දේවල් කරලා තමයි"
ඒ පාර මේකා මගේ චරිතේ කන්න හදනවා.
"ඇත්තටම කියහන් ඉතිං ඔතන ඇඹරෙන්නේ නැතුව"
"අනේ යන්න මහත්තයා යන්න"
"එහෙනම් ඉතිං මමම කියලා දෙන්නද මේ මහත්තයාට එදා මොකද උණේ කියලා?. මේකයි වෙලා තියෙන්නේ. පලවෙනි දවසේ ගෑණි මේකාට ලංවෙන්න හදලා, මේකා ගැනීව මරාගෙන කන්න හදලා. උදේ ගෑණි කියලා තියනවා සේරම අකුලාගෙන ගෙදර යනවා කියලා, මේ විදියට ඉන්න බෑ කියලා. පස්සේ අපේ විජේපාල කරලා තියෙන්නේ දෙවෙනි දවසේ රෑ බාල්කෙට ලණුවක් දාලා අත් දෙක ඇඟට තියලා හොඳට ගැට ගහගෙන. එදා නම් අමාරුවෙන් වගේ මොකක් හරි දෙයක් වෙලා. හැබැයි එළිවෙනකල්ම මේකා දැඟලුවාලු. ගෑණිත් අත ඇරලා නෑ. ආයේ නම් විජේපාල ඒ දේ කරන්න බෑ මයි කියනවා ලු. ඒත් කොහෙමෙන් කොහොම හරි අරුන් දා මාසෙකට සැරයක් වත් ලණුව එළියට ගන්නවාලු"
මේක ගත්ත තැන නම් කියන්න බෑ |
"ඇත්තද බන් මේ කතාව?"
"මහත්තයත් ඉගෙන ගත්ත කෙනෙක් වෙලා මේ වගේ කෙප්ප විශ්වාස කරනවානේ" කියලා මිනිහා හෙමීට එතනින් මාරු උණා. ඇත්තටම ඉතිං ඒ වගේ දෙයක් නොකර නම් කාටවත් මිනිහාගේ ඇගට අතක් තියන්න බෑ.
කොහොමත් විජේපාල හිත හොඳ මනුස්සයා. වැඩක් කිව්වොත් කර අරින්නේ නෑ. මම කිව්වොත් දෙයක් කොහොම හරි කරනවා. ඒ මම අර අත දික් කරන්න ගියේ නැති හින්දා වගේම හැන්දෑවට කාඩ් අත්සන් කරන්න මම හිටියොත් වැඩිපුර OT පැයක් දාන හින්දා ද මන්දා.
ඔය ඉන්නේ මනුස්සයා |
කතාව නම් එචචරයි. විජේපාල ගැන තව දේවල් නම් තියනවා කියන්න, ඒ වගේම ඒ කාලේ මේ වගේ දේවල් ඕන තරම්. ඒත් ඉතිං එකම දේ දාපුවම ගතියක් නෑනේ. උඩින්ම කිව්වා වගේ බර ලිපියක් එක්ක කලවමට දානවා. එහෙනම් කට්ටියට ආයෙමත් කියනවා,
සුභ නත්තලක්! සුභ අලුත් අවුරුද්දක්!!