Tuesday, February 11, 2014

අපේ සීයා කුඹුරු කොටපු හැටි

ඔය අපේ සීයා ඉන්නවා නේද? ඉන්නවා කිව්වාට දැනට නැති වෙලා අවුරුදු අටකටත් කිට්ටු වෙනවා. අනේ කාටවත් කරදරයක් නැතිව හිටපු මනුස්සයා. ඇඟේ හයිය තියනකල් නිකන් ඉන්න නම් කැමති උණේ නෑ. කැත්තක් උදැල්ලක් මන්නා පිහියක් අරන් මොනවා හරි කරන එකමයි වැඩේ. අවසාන කාලේ බැරි ගැහිලා එක තැන් වුන දවස් හැරුනාම අනිත් හැම දාම දුවලා පැනලා වැඩ කෙරුවා. කොල්ලා කාලේ ඉදන්ම වැඩ කරපු පුරුද්දනේ. ඉතිං අද මේ කියන්න යන්නේ පුංචි එකා කාලේ මට කුඹුරු කොටන්නේ කොහොමද කියලා කියලා දීපු විදිය ගැන.


ඔය කාලේ ඉතිං අපිටත් එසේ මෙසේ ගායක් නෙවේනේ තිබ්බේ. සියාලාගේ ගෙදර වටේ තිබ්බ රඹුටන් ගස් වල යන්තම් ගැටේ කාලේ ඉදන්ම සීයාගේ මුණුපුරෝ ටික එකතු වෙලා වැඩේ දෙන හින්දා සීයාට අපිව වදයක් උණත් වත්තේ පිටියේ හැදෙන පුවක් ගෙඩිය කඩා ගන්න වගේ දේකට අපිව නැතිව බැරි හින්දා වැඩිය මොකවත් කියලා නෑ. එහෙම කඩන පුවක් කූරු ගහලා අව්වේ වේලන්න ඕනේ කරුංකා කරන්න. ඒක එසේ මෙසේ වැඩක් නෙවේ. උදේ ඉදන් හැන්දෑ වෙනකල් පෙලක් දවස් වලට පුවක් කූරු ගහන්න ඕනේ. එහෙම දවසක කාන්සිය මැකෙන්නත් එක්ක තමයි අපේ සීයා මට කුඹුරු කොටන හැටි කියලා දුන්නේ. ආයේ වෙනසක් නෑ උන්දෑගේ වචන වලින්ම තමයි ඔය තියෙන්නේ.


ඉස්සර පුතේ තනියම කුඹුරක් කොටනවා කියන්නේ ගැටයෙක් මිනිහෙක් උණා කියන එකටයි. පෙලවාහයක් එහෙම කරගෙන, කුඹුරක් එහෙම කොටලා ඉවරවෙනකල් ගමේ කවුරුත් කිසිම කොල්ලෙක් කියන දෙයක් කණකට ගන්නේ නෑ. මමත් උඹලාගේ කිරි අම්මා කැන්දාගෙන ඇවිල්ලා යන්තම් පෝය දෙකක් යන්න කලින් අපේ අපුච්චා මට පල්කඩේ වැඩ කරන්න කිව්වා. උඹලාගේ මහ එකාටවත් දැන් නම් අපේ අපුච්චා ගැන මතක නෑ හරියට. ඇඟ නම් ලොකුවට නෑ. හින්දාරි මනුස්සයා. ඒ උණාට යකඩෙන් වාත්තු කලා වගේ ඇඟ. මටත් ඉතිං ආයේ ඊට වඩා දෙයක් නෑ පටන් ගත්තා හිතේ හයියට. 
ඒ කාලේ ගොයම් කපන මැසීම් එහෙම නැති හින්දා අත්තමට තමයි වැඩ කරන්නේ. අද නම් මොනවද ගෙදර එවුන් ටික එකතු උණා නම් වැඩේ අහවරයි නොවැ. ඒත් අර දවස් වල එහෙම නෑ. අත්තමකට දෙකකට  මුලින්ම ගිහිල්ලා මුණ පෙන්නලා එන්න ඕනේ. අපි වගේ ගැටයෙක් ගේ ඒවාට එනවා හරි හොරයි කට්ටිය.
දැන් ඔය පන්සලට එහා පැත්තේ ඉඩමේ අලුතෙන් ගෙයක් හදාගෙන ඉන්න සුගත් ළමයාගේ සීයා තමයි ඒ කාලේ ගමේ නමක් තියාගෙන හිටියේ. අනේ උන්දැත් එක්ක ඒ සේරම ඉවරයි. පුත්තු ටික සේරම නැති කරලා දැම්මා. ඉස්සර එහෙමද, කුඹුර කපන දවසට ගමේ සේරම එතන. ගමේ ඉන්න ගැටව් විතරක් නම් මදැයි, අනිත් සේරමල්ලාත් එදාට එතන. ගිහිල්ලා ඔලුව පෙන්නාලා එනවා අපිත්. එහෙම වෙලාවකට අපේ සියාතු මාමා - අර උඹලගේ ලොකු නැන්දා බැඳලා ඉන්නේ උන්දැගේ මුනුපුරෙක් නොවැ - කියනවා "මේ අපේ මලයාගේ ලොකු කොලුවා අලුතෙන් කුඹුරක් කොටනවා නොවැ" කියලා. එහෙම වෙලාවකට මුණ දිහා හොදට බලලා කියනවා "යසයි නොවැ කොලුවෝ කරගෙන පලයන්. අපිටත් කියහන්කෝ කුඹුර කපන දවස් වලට. ඇවිල්ලා යන්න එන්න බැරිය". එහෙම කිව්වට උන්දැ කවදාවත් එහෙම කුඹුරකට අඩිය තියනවා නම් නෙවේ. ඇත්තටම ගමේ ඉන්න හැම එකාගෙම කුඹුරු වලට යන්න උණා එහෙම උණා නම්. ආයේ වෙන වැඩක් නැති වෙයි උන්දැට. හැමෝම දන්න කියන කෙනෙක් ගේ කුඹුරකට නම් ගොඩවෙලා යනවා පුරුද්දට වගේ. ඒ උණත් පාරේ යන ගමන් දැකලා අපි වගේ ගැටයෙක් ගේ කුඹුරකට ගොඩවෙලා ගොයම් ගහක් දෙකක් කපලා යන වෙලාවල් එහෙමත් නැතුවා නොවෙයි. එහෙම දවසක් කියන්නේ අපි වගේ එකෙකුට හරි ලොකු දෙයක්.
එතකොට තව ඉන්නවා අර කිව්වා වගේ සීයාතු මාමා, එතකොට කුඹුක් ගහ ගාව ගෙදර ගුණදාස මාමා. උන්දැලා තමයි ගමේ අලුතෙන් ගැටයෙක් කුඹුරක් කොටන්න පටන් ගත්තාම මුල ඉදන් කියලා දෙන්නේ. කපන දවසට අනිත් අයට පණිවිඩේ දෙන්නෙත් උන්දැලා. එදා උදේ සේරටම කලින් කුඹුරටත් ඇවිල්ලා වැඩ ටිකත් කරලා දෙනවා. 
එතකොට ආයේ එකතු වෙනවා අපි වගේ ගැටව් ටික. මොකද උන් දන්නවා අලුතෙන් කුඹුරක් පටන් ගත්තාම තියන කරදර. තමන්ගේ කුඹුර වගේ ඇවිල්ලා සේරම කරනවා. එක කතාවට වැඩ ආයේ. ඔය අල්ල පනල්ලේ එදා දවසට ඇවිල්ලා උදව් දෙන අය. හදිස්සියට දැකලා උදව්වක් කරලා යනවා. ආයේ දකින්නෙත් කලාතුරකින්. 
ඉතිං කවදාහරි දවසක උඹලාට තමයි ඔය පල්කඩ කොටන්න වෙන්නේ. එදාට මතක තියා ගනිල්ලා, යන්න පුළුවන් හැම අත්තමටම පලයල්ලා. ඒ අය ආපහු ආවේ නෑ කියලා හිතන්න එපා. සමහරක් විට උඹලා දෙතුන් දොහේ ගියත් කවදාවත් උඹලගේ කුඹුරට අඩිය තියලා නැති උණත් දිගටම පලයල්ලා. ඒ වගේම තමයි ගමේ ඉන්නවා මිනිස්සු සේරම සලකන අය. ඒ මිනිස්සුන්ට හැම කුඹුරක් ගානේම ඇවිදින්න වෙලාවක් නෑ. පුළුවන් වෙලාවට ඇවිත් යයි. ඒ උඹලා වගේ ගැටව් අමතක කරලා නෙවේ. හැම දේකටම වේලාවක් නෑ මිනිහෙකුට. ඊටත් වඩා ටික දොහක් කුඹුරක් කොටලා හරි හමන් මිනිහෙක් උණොත් ඒ මිනිස්සු නෑවිත් ඉන්නේ නෑ. ඒ මොනවා උණත් ඒ මිනිස්සු කුඹුරක් කොටන වෙලාවට උඹලත්  යන්න ඕනේ. එතනින් තමයි උඹ ගැන ගමේ අනිත් එවුනුත් දැන ගන්නේ. එතකොට සියාතු මාමා වගේ කට්ටියට කුඹුරු කොටද්දී විතරක් නෙවේ වෙන උදව්වක් ඉල්ලුවත් කොහොම හරි කරලා දීපල්ලා. උන් රත්තරන් වගේ වටින මිනිස්සු. තව උඹලා ගැටව් ටික එක කතාවට ඉදපල්ලා. අලුතෙන් එකෙක් ආවත් එකාව ගසා තෝරන්නේ නැතුව උඹලට එකතු කර ගනිල්ලා. එහෙම කෙරුවොත් කවදාවත් වරදින්නේ නැති වෙයි උඹලට.
සීයා කියපු විදියට නම් මට තාම පල්කඩ කොටන්න යන්න උණේ නම් නෑ මොකද අපේ තාත්තා එකේ වැඩ කරන හින්දා. ඒ හින්දා කුඹුරු කොටන එක පැත්තකට දාලා හරියටම මීට අවුරුද්දකට කලින් මම බ්ලොග් එකක් කොටන්න පටන් ගත්තා. මුල් කාලේ නම් මේකේ ගන්න දෙයක් තිබ්බේ නෑ. කුඩමැටි විතරයි. දැන් තමයි යාන්තමට ගොයම් කොළයක් තියන්නේ. ඉතිං එහෙනම් සේරටම ගොඩක් ස්තුති වන්ත වෙනවා අවුරුද්දක් පුරාවට ආවට.