Saturday, November 30, 2013

සියයට හතරක්

"දුවට පුතාට අරගෙන යන්න. හොදයි නම් වැදගත් කියලා හිතෙනවා නම් බලලා අරගෙන යන්න"
කඩේ ගන්න ගියොත් එක පොතක් රුපියල් 50 ක් වෙනවා. පොත් 4 ටම 200 ක් වෙනවා. මට එච්චර ඕනේ නෑ. ඒකෙන් රුපියල් 100 ක් ම අඩු කරලා මට රුපියල් 100 ක් දෙන්න. එක පොතකට වෙන්නේ රුපියල් 25 යි මහත්තයෝ........ බ්ලා බ්ලා බ්ලා....."



          නින්දත් නොනින්දත් අතර 255 බස් එකක කොට්ටාවේ ඉදලා කැම්පස් එක ගාවට එන ටිකට පොඩි නින්දක් දාලා හිටිය මාත් ඇහැරලා බැලුවේ මේ සුපුරුදු පොත් වෙළෙඳාමක සද්දේ අහලා. බාල වර්ගයේ කොලයක මුද්‍රණය කරලා තියන මේ වගේ පොත් විකුනන වෙළෙන්දෝ අද ඕනෑම බස් එකක, දුම්රියක හැමදාම දකින දෙයක් වෙලා. මට තියන ලොකුම ගැටලුවක් තමයි අර "මනස" සඟරාව අරන් බස් එකට ගොඩවෙන අක්කලා ගෙයි මේ වෙළෙන්දන්ගෙයි අතරේ වෙනසක් තියනවාද කියලා. එකම දේනේ කරන්නේ.


         වෙනදා වගේ  පොත් විකුනන මනුස්සයා කියෙව්වේ පාට කරන පොත් ගැන නෙවේ. ටිකක් අමුතු විදියේ  පොත් 4ක් ගැන. ඒ හින්දා මටත් බලන්න හිතුනා. ඔලුව හරවන්න කම්මැලි කමට ඇහැ විතරක් හැරෙව්වා. ඒවා තමයි,
සැළලිහිණි සංදේශය, සුභාෂිතය, ලෝ වැඩ සඟරාව සහ යසෝදරා වත. මීට කලින් දවසකත් මේ පොත් ගැන වෙළෙන්දෙක්  දුම්රියේ යද්දී අහපු මතකයක් තිබ්බත් නින්දෙන් නැගිටින්න කම්මැලි කමට එහෙම්ම හිටියා. අදත් එදා වගේම නැගිටින්න බෑ කියලාමයි හිතුණේ. අනික මේ පොත් බාල වර්ගයේ ඒවා - මුද්‍රිත ස්වරුපය ගැන කිව්වේ -  කියලා මම නිදහසට කාරණයකුත් හොයා ගත්තා. ඒත් එකින් එක කවි කිය කියා, සිංහල සාහිත්‍ය වල පල්ලට ගිය හේනේ ගැන ප්‍රාමාණික විදවතෙක් දෙන විදියේ දේශනයක් කරපු හින්දා මගේ ඇඟ ඇතුලේ හිටපු සිංහයා අවදි වෙලා ගනින් බූරුවෝ කියල ගොරවද්දී මටත් ගන්නම හිතුණා. සාක්කුව අතගාලා පර්ස් එකේ තිබ්බ සීයේ කොළ දෙකෙන් එකක් අර ගෙන - සන්තේකෙටම තව ඉතුරු එතකොට 100 යි. කමක් නෑ වෙලාවට මහපොළ දානවා හෙට හරි අනිද්දා හරි - පොත් හතර ගත්තේ පොත බාල උනාට තියන දේවල් බාල නෙවේ කියලා හිත හිතා.
        ආපහු නිදා ගන්නත් හිතලා කෝකටත් එක පොතක් අතේ තියා ගෙන අනිත් තුන දා ගත්තා බෑග් එකට. අතේ තියා ගත්තේ ලෝ වැඩ සඟරාව. එහා පැත්තේ මනුස්සයාත් හොරෙන් බලනවා ද කොහෙද මම කියවන දිහා. ඕන මගුලක් කියලා මම පාඩුවේ කියවන්න ගත්තා.

සෙත් සිරි දෙන මහා ගුණ මුහුදාණන් 
සත් හට වන බව දුකට වෙදාණන්
තිත් ගණදුරු දුරලන දිනිදාණන්
සිත් සතොසින් නමදිම් මුනිදාණන්

          එක දිගට කියවගෙන යද්දී ඒක ඇගට දැනෙන්නේ නෑ. සඳස් කවියක් කියවන්න ඕනේ සද්දෙට, කට ඇරලා. එහා පැත්තේ මනුස්සයාට ඇහෙන්නේ නැතිවෙන්න මම තාලේ අල්ලලා කියවන්න හැදුවා. එතකොට නම් පොඩි ගතියක් තියනවා. මට කොහොමත් මේ කවිය කියවද්දී මතක් වෙන්නේ දහම් පාසලේ  දහම් පාසලේ මේ කවි තුන ඇරෙන්න කලින් කියවන හැටි මහා හයියෙන්. - දහම් පාසල් උණත් එක දිගට යන්න බැරි උණා. අතරින් පතර ගියේ. දැන්නම් අපරාදේ කියලා හිතෙනවා - අපි පොඩි උන් තාලෙට ඇදලා එක ලතාවකට කියවපු හැටි තාමත් මතක් වෙනවා.

සෙත් සිරි... දෙන මහ... ගුණ මුහු... දාණන්...
සත් හට... වන බව... දුකට වෙ... දාණන්...
තිත් ගණ... දුරු දුර... ලන දිනි... දාණන්...
සිත් සතො... සින් නම... දිම් මුනි... දාණන්...

        පොඩි කාලේ තේරුනේ නෑ ඇයි මේ විදියට කඩලා  කියන්නේ කියලා. පස්සේ කාලේක තමයි දැන ගත්තේ මේක මාත්‍රා 16 බැගින් වන පෙද විරිත කියලා. එකේ මාත්‍රා 4න් 4 ට යතිය, එහෙමත් නැතිනම් මදක් නවත්තලා කියන්න ඕනේ. ඒකයි අර විදියට ඇදලා කියන්නේ. "පෙදෙන් බුදු සිරිත වණනවා" කියලා භාවිතයට ආවේ මේ විදියට පරණ කවියෝ ගොඩාක් වෙලාවට පෙද විරිත යොදා ගෙන තියනවා බුදු සිරිත වර්ණනා කරන්න. හැබයි මට තාමත් ගැටලුවක් වීදාගම ගම මෛත්‍රී හාමුදුරුවෝ යති භ්‍රෂ්ට දෝෂය ගැන අවධානය යොමු කෙරුවේ නැත්තේ ඇයි කියලා. යතිය තියන්න ගිහිල්ලා සමහර පද මැදින් කඩන්න වෙලා. සමහරක් විට මම වැරදි ඇති. වෙන අර්ථ දැක්වීමක් ඇති ඒකට.



          මේ විදියට කවි කියවා ගෙන ගියා. කොහොමත් ඒ කාලේ ඉදන්ම බස් එකේ යද්දී පොත් කියවන එක මගේ පුරුද්දක්. මෙහෙම පෙද විරිතෙන් ගලා ගෙන කවි එක පාරටම පුති-අති පුණු විරිතට මාරු උණා. ඒ මාත්‍රා 28 ක් බැගින් වන දීර්ඝ විරිතක්. කියවන එක නවත්තලා වටපිට බැලුවා. එහා පැත්තේ මනුස්සයා ඔලුව පැත්තකට ඇල කරගෙන නිදි. - බස් එකේ කෙනෙක් නිදා ගෙන ඉන්නවා දකින ඕනෑම වෙලාවක මට ඇතිවන ප්‍රශ්නේ තමා මමත් මේ වගේද දන්නේ නෑ නිදා ගන්නේ කියලා - බස් එක බොල්ගොඩ පාලම උඩින් දානවා. මමත් පොත බෑග් එකට දාගෙන ඉක්මනට ඉස්සරහට ගියා. හොස්ටල් එකට ගිහින් ඉතුරු ටික ඉවර කරන්න හිතා ගෙන.