Friday, December 6, 2013

අනිත් එවුන් කරන දේවල්

            ඔන්න දන්නෙම නැතුව නත්තලත් ඇවිල්ලා. වෙනදා නම් ඕක දැනෙන්නේ කතෝලික සංගමයේ සෙට් එක ගොඩ කැන්ටින් එකේ පාට පාට දිලිසෙන බෝල එල්ලපුවාම. අම්මට සිරි යකෝ නත්තල් ඇවිල්ලනේ කියලා. හැබැයි මෙදා පාර නම් ටිකක් කලින්ම දැනුණා. ඒ වෙන දෙයක් හින්දා නෙවේ, කණ කරේ තියාගෙන බලපු - දැන් අහන්න එපා කණ කරේ තියාගෙන බලනවා කියන්නේ මොකක්ද කියලා. මම දන්නෙත් නෑ, මොකක් හරි එකක් වෙන්න ඇති ඔහේ - ටීවී සීරීස් ටික එන එක නැවතුණා. හොයලා බලද්දී ඒ Winter Break එකලු. නත්තලට කලින් සැන්ටා ට එන්න ඉඩ දීලා කට්ටිය පොඩි විවේකයක් ගන්නවාලු.


              යකා නම් සිංහල බෞද්ධයා උණාට නත්තලට අමනාපයක් නෑ පොඩ්ඩක්වත්. උඩ ගෙදර කට්ටියම ක්‍රිස්තියානි පවුලක් හින්දා පොඩි කාලේ ඉදන්ම නත්තල් දවස් ටිකේ යකා ඒ පැත්තේ ලැගුම් ගන්නවා. නත්තල් ගහ සරසන්න එහෙමත් පොඩි පොඩි උදව් දුන්නාද කොහේද. නත්තල් දවසේ උදේම ගෙදරට ලොකු කෑම පිගානක් - අපි අවුරුද්දට දෙනවා වගේ මහ පත පිගානක් පුරවලා, කැවුම්, කේක්, කෙසෙල් - අරන් ගෙදරට එන උඩ ගෙදර මාමා, අපේ තාත්තාට පැත්තකට එන්න කියලා මොනවාද මන්දා කුටු කුටු ගානවා. ඉතිං හැන්දෑ කොරේ තාත්තා, මායි අයියයි එක්කරගෙන නිල වශයෙන් ඒ පැත්තට ගොඩ වෙලා, හිතේ හැටියට නත්තල භුක්ති විදපල්ලා කියලා  කාමරයකට වදිනවා.

පස්සේ තමයි දන්නේ වැඩේ මේක කියලා

      ඒ වගේම එදා රෑ මුලු ගම වටේම ඇවිදින කැරොල් කණ්ඩායම කෑ ගහන සද්දෙට අපිත් නිදි මත පෙර පෙරා ගිහින් කැරොල් බලනවා.ඒ පොඩි කාලේ වෙච්ච දේවල්. දැන් උඩ ගෙදර මාමා නැති වෙලා. කැරොල් කණ්ඩායම එනවාද දන්නේ නෑ. - යකා මතක ඇති කාලේක නත්තලට ගෙදර ඉද නැත - ඒත් තවමත් කැරොල් කාණ්ඩයක් බලන්න නම්  පට්ටම ආසයි. 
    ඒ කාලේ ගමේ පල්ලියේ නත්තල් නාට්‍යය තියන කොට අපිත් වෙලෙන් එගොඩට පැන ක්‍රිස්තියානි බෞද්ධ බේදයක් නැතුව හුරේ දානවා. නත්තල් සීයාත් බෙදන හැම අටමගලම හැම පොඩි එකාටම දීලා දානවා. ඔය නත්තල් සියා ගැන කියද්දී යකාට කතාවක් මතක් වෙනවා. ඒක අපේ ගමේ වෙච්ච එකක් නම් නෙවේද කොහෙද. කොහේ උණාම අපිට මොකද ආයුබෝවන්ඩ කතාව අහමුකෝ.

       ගමක නත්තල් උත්සවයක නත්තල් පප්පා විදියට ඇඳ ගත්ත සෙට් එකක් ඔන්න නැටුමකට සෙට් උණාලු. එක්කෙනක් උඩට ගිහින් සින්දුවක පදයක් කියලා බැලුම් දෙකක් බැදගත්ත අර ලීය හොලවලා රවුමක් නටලා බැහලා යනවා. ඊට පස්සේ අනිත් කෙනා ඊලඟ පදය කියන්න උඩට යනවා. අර විදියටම  රවුමක් නටලා බැහලා යනවා. ඕක ඔය විදියට හරි අපුරුවට යන්න තියෙද්දී එක හාදයෙක් සින්දුවේ මිනිහගේ පදය කියලා, ඊට පස්සේ පදයත් කියලා රවුමක් නටලා ගියාලු. දැන් පස්සේ උඩට යන එකාට කියන්න දෙයක් නෑලු. මිනිහා නිකම්ම් බැලුම් බොල දෙක වනවලා රවුමක් නටලා ගියාලු. කලින් යන එකා ගිහින් කරන දේ හින්දා පිටිපස්සෙන් යන  එවුන් අනාථ වෙනවා කියන්නේ ඕකට තමයි.


    පොඩි කාලේ  ඉස්කෝලේ වාර අවසානේ ප්‍රගති වාර්තා පොත ගන්න යද්දී එක බූරුවෙක් දණ ගහලා වැන්දොත් අනිත් එවුන්ටත් ඒ දුවිලි ගොඩේම දණ ගහන්න වෙන්නෙත් ඕක හින්දා. වාරයක් අවසානේ ගුරුතුමාට වැඳලා  වාර්තා පොත ගන්න එකට අවුලක් නැති උණාට, අර මුලින්ම වැඳ වැටුණු එකා පංතියේම හොඳම ළමයා කියලා එදා ඉදන් කියවන එක නම් ඒ හැටි දිරවන්නේ නෑ. ඕකේ හොදම එක තියෙන්නේ පළාත් හරි කොට්ඨාශ තරඟයකට ගියාම අනිත් පාසලක් අපිට කලින් සහතික ගද්දී උන්ට වදින්න අමතක උණාම. එදාට තමයි පන්සලේ හාමුදුරුවන්ටත් වදින්නේ නැති අපේ එවුන් පසඟ පිහිටුවලා වදින්නේ. ඒ වේලාවට කලින් ගිය එවුන්ගේ මූණු දෙල් ගෙඩි ගානට දම් වෙලා. නෑ වැරදුණා. ඒ ගානට ඉදිමිලා. ඒ මදිවට පස්සේ එන එවුන්ට වෙන කරන්න දේකුත් නෑ. අපේ අම්මලා මතක් කර කර උනුත් ඉතිං ගිහින් වදිනවා පෝලිමේ. අන්න ඒ විදියට තමයි අපි ඒ කාලේ පාසලේ නම තිබ්බේ.

වදිනවා නම් ඔන්න වැදිලි


        ඔය විදියේ ම සිද්දියක් අද ගෙදර එනගමන් ට්‍රේන් එකෙත් උණා. කොහොමත් යකා ඕන ගමනක් යද්දී හොඳට නිදාගෙන යන්නේ. - මේ නිදා ගැනීම ගැන වෙනම ලිපියක් දාන්න ඉන්නේ හෙට අනිද්දා දිහාට - ඉතිං අදත් හොඳ නින්දක් නිදාගෙන පොල්ගහවෙල හරියෙන් ඇහැරුණාම කොළ ඇපල් කාරයෙක් කෑ ගහනවා. විස්සට කපලා දෙනවා කිය කියා. මේ විදියට විකුනන ඇපල් කන්න හොඳ නෑ කියලා තිබ්බට කොළ පාට ඇපල් මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් දාලා කපලා දෙද්දී මොකාටද ඉන්න පුළුවන්.  මේක ගල් ගහද්දි බයිට් එකට විතරක් නෙවේ නිදිමත වේලාවට එහෙමත් නියම කෑම. - යකා ගල් ගසා නැති නමුත් ගල් ගසන තැන බයිට් ඉවර කරන එකෙක්ය- මම ඉදගෙන හිටියේ අර මුණේන් මුණ බලාගෙන 6 දෙනෙක් යන සීට් එකක. අනිත් එවුන් අරක නිකං මහා නරක දෙයක් ගානට අහක බලාගෙන ඉන්නවා. මම ඕන දෙයක් කියලා ඇපල් ගෙඩියක් ගත්තා. මෙන්න බොලේ අනිත් එවුනුත් එකා දෙන්නා සාක්කුවට අතදානවා. මටත් එකක් කිය කියා.

කොහොමද ලුණු කුඩු මිරිස් කුඩු ටිකක් ඉහලා ගත්තම?


ඔන්න ඕක තමයි හැටි අපේ. මුලින්ම දෙයක් කරන්න බයයි. අනිත් එකා කරනකල් බලාගෙන ඉන්නවා. 

ප/ලි
ඇපල් ගෙඩියනම් හොඳට තිබබා. කුණු ගොඩකින් පන්නපු එකක් නම් නෙවේ වගේ. 
ප/ප/ලි
නත්තල ගැන දැන්ම සේරම ලියන්න ඕන නෑනේ. තව දවස් කීයක් තියනවාද? එතකොට ලියන්න තියා ගන්නත් එපාය.

8 comments:

  1. අර වඳින වැඩේ නම් පට්ටම සිරා වැඩේ,මටත් තියෙනවා ඔහොම මතකයන් ගොඩක්,විශේෂයෙන් 11 වසරේ ඉන්නකොට අපි ඕක ආතල් එකක් විදියට ගත්හා මතකයි, ඒ කාලේ ඉස්කෝලේ ඇරුණගමන්ම යන්න හදිසි එවුන් හිටියා(වෑන්වල යන එවුන් එහෙම,උන්ට ඉක්මණට ගියේ නැත්නම් උන්ව දාලා වෑන් එක යනවා :) ),ඉස්කෝලේ ඇරිලා පන්තියෙන් එළියෙට යනකම් බොහෝවිට යන්න වෙන්නේ පෝළිමේ,මැඩම් අනිවා පන්තියේ ඉන්නවා ඔය වෙලාවට,ඉතින් මොකෝ කරන්නේ පෝළිමේ මුලින්ම යන එකා ගන්නවා ආතල් එක මැඩම්ට වැඳලා හද පිරි බැතියෙන්, ඔන්න ඉතින් පෝළිමේ පස්සේ ඉන්න විශේෂයෙන් යන්න හදිසි එකෙක් ඒ ව්ලාවට අරූගේ අම්මා මතක් කරනවා හද පිරි බැතියෙන්.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒ වෙලාවට දැනෙන සතුට. ආයේ ඉතිං කියලා වැඩක් නෑ

      Delete
  2. අලුත් යකෙක් ඇවිත් තියෙන්නෙ බ්ලොග් අවකාශෙට .

    මේ උබ "පහනෙන් ආ යකා" හෙම නෙමේ නේද :D

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්දියේ කියන කතාද මේ මම අහන්නේ?

      Delete
  3. යකා, පෝස්ට් එකේ අකුරුවල පාට මරු කරන්නෙපා... එතකොට කියවන්න අමාරුයි :(
    අර කිව්වත් වගේ ඇපල් කෑලි ටිකකට ලුනු ගම්මිරිස් ඉහලා ගත්තහම මරු... මරු බයිට් එක !

    ReplyDelete
    Replies
    1. මුලින්ම දැම්මේ කළු පාට. එතකොට එක ගොඩ වගේ හිතුණා. ඊට පස්සේ අතරින් පතර ටිකක් කොළ පාට කලා. සේරම ඒ පාටම දානවා ආයේ. ගොඩාක් ස්තුතියි උපදේශයට

      Delete
  4. //ඔන්න ඕක තමයි හැටි අපේ. මුලින්ම දෙයක් කරන්න බයයි. අනිත් එකා කරනකල් බලාගෙන ඉන්නවා. //

    ඉස්සර අපි පොඩි කාලෙ ගමට එන බොම්බයි මොටයි කාරයා අපි අඳුනන කෙනෙක්. කවුරුත්ම මොටයි ගන්න ආවේ නැත්නම් එයා කරන්නෙ මල්ලිටයි මටයි කතාකරලා මොටයි දෙන එක. මෙන්න අපිට නිකන් දීපු බව නොදන්න අනිත් එවුන් සල්ලි අරන් පෝලිමේ දුවන් එන්නෙ. අපිත් නිකන් දීපු බව කියන්න යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ශීට් අපිට තිබ්බේ නෑනේ ඔහොම චාන්ස් එකක්. අපරාදේ

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න