Tuesday, December 17, 2013

ධාතු - ධාතු

අහලා තියනවාද කතාවක් ධාතු ධාතු එකට ගැලපිලා යනවා කියලා. නැතිවෙන්න නම් විදියක් නෑ. මොකද මේක ගොඩාක් ප්‍රසිද්ධ කතාවක් නේ. අද උඳුවප් පෝය හින්දා - ලියන්න පටන් ගත්තේ පෝය දවසේ. කට්ටිය කියවන්න හදනකොට නම් පෝය ඉවර වෙලා ඇති - පොඩ්ඩක් වෙනස් දෙයක් ලියන්න හිතුණා. අපිට මොන බණද කියලා කියවන එක නවත්තලා දාලා යනවා එහෙම නෙවෙයි දැන්. ආපු එකේ කියවලාම යමු.

ඇත්තටම ධාතු ධාතු එකට යනවා කියන්නේ මොකක්ද? බුදු රජාණන් වහන්සේ නම් දේශනා කෙරුවේ, 

"පින්වත් මහණෙනි, සත්වයන් තව සත්වයන් සමඟ එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ" කියලා. 


ඒ කියන්නේ අසත්පුරුෂයෝ එකටත්, සත් පුරුෂයෝ වෙනමත් තමයි එකතු වෙන්නේ. ඒ කට්ටිය හැම වෙලේම බලන්නේ තම තමන්ගේ විදියට ගැලපෙන අයත් එක්ක එකතු වෙන්න.ශ්‍රී සද්ධර්මය අකාලිකයි කියන්නේ බොරුවට නෙවේනේ. මොකද මේක අද කාලේට හොදටම ගැලපෙනවා. අපි සත් පුරුෂයෝ, අසත් පුරුෂයෝ කතාවට පස්සේ යමුකෝ. මුලින්ම බලමු වෙන වෙන එකට යන කට්ටිය ගැන. 


ඉස්කෝලෙක ඉස්සර පෝලිම් වල ඉන්නේ කවුද? අද කාලේ කොහොමද දන්නේ නෑ. යකා ගිය කාලේ නම් හොදම මීටර් ටික තමයි ඉස්සරහා ඉන්නේ. එතකොට අවසාන පෝලිමේ ඉන්නේ අපත සෙට් එක. වැරදිලා හරි ඒ පැත්තට ඔළුව දැම්මත් කලිසමත් ගලවලා එවන සයිස් එකක් නේ තිබ්බේ. ඒක තමයි ඇත්තටම තියන විදිය. හොදම මීටර් වලට පිටි පස්සේ පේළි හරියන්නේ නෑ වගේම අනිත් සෙට් එකට ඉස්සර පේළි හරියන්නේ නෑ. පේළිය කෙසේ වෙතත් එකේ ඉන්න එකාලා එක්ක උපරිම මල. ඉස්සර ඉන්න සෙට් එක සාමාන්‍යයෙන් "දෙනගමුව" ලා සෙට් එකක් නේ. එතකොට පිටිපස්සේ ඉන්නේ නාහේට අහන්නේ නැති නොසන්ඩාලයෝ ටිකක්. ඉතිං මේ දෙගොල්ල කවදාවත් එකට ගලපන්න හරි අමාරුයි. වැඩක් කරන්න ගියත්, සෙල්ලමකට ගියත් තමන්ගේ සෙට් එකත් එක්ක විතරයි. අන්න ඒකයි කියන්නේ ධාතු ධාතු එකට ගැලපෙනවා කියලා. 


කැම්පස් එකේ උනත් වැඩි වෙනසක් නෑ. ඉස්සරහා පෝලිමේ ඉන්නේ සර් කඩ්ඩෙන් දෙසා බාන ලෙක්චර් එක ඉවර උණාම සර් ගෙන් උගන්නපු පාඩම ගැන තවත් ප්‍රශ්න අහන සෙට් එකක්. එතකොට පිටිපස්සේ ඉන්නේ ලෙක්චර් එක ඉවර වෙනකල් නිදාගන්න, විභාගේට සතියක් විතර වෙනකල් ඒ මොනවාද ඉගැන්නුවේ කියලා දන්නේ නැති සෙට් එක. සමහරක් සර්ලා ඉන්නවා පරක්කු වෙලා ගියපු එවුන් ඉස්සරහින් වාඩි කරවනවා. අන්න එදාට අර අහිංසකයා කට අරගෙන බලාගෙන ඉන්නවා වටේ ඉන්න එවුන් හිටු කියලා නෝට් එක ලියා ගන්න විදිය. ඌට ඒ පරිසරය කීයටවත් අල්ලලා යන්නේ නෑ. මොකද ඒ උගේ ධාතු ස්වභාවය නෙවේ හින්දා. 


වැඩි දෙයක් ඕන නෑ. අපේ බ්ලොග් කරණයේ පවා ඉන්නවා නේ එකට පෑහිලා යන කට්ටිය. එතකොට ඒ මතය දිරවන්නේ නැති අයත් ඉන්නවා ඕන තරම්. අර ධාතු ධාතු එකට යන හින්දා විරුද්ධ ධාතු තියන අය අතරේ ගොඩාක් වෙලාවට ගැටුම් - ගොඩාක් වෙලාවට ඊලඟ පොස්ට් එක දානකල් විතරයි මේ වලි - තමයි ඇති වෙන්නේ. ඒ වෙලාවට තියෙන්නේ කලබල වෙන්නේ නැතුව, මේක මේ ධාතු ස්වභාවය නේ කියලා අත ඇරලා දාන එක.


මේක අවසාන කරන්න කලින් අපි අර  උඩින් කියපු අසත් පුරුෂයෝ සත් පුරුෂයෝ කතාවට ආපහු යමු පොඩ්ඩක්. අසත් පුරුෂයාට කවදාවත් සත් පුරුෂයෝ අතර ඉන්න බෑ. ඒ වගේම තමයි සත් පුරුෂයාටත් අසත් පුරුෂයෝ අතර ඉන්න බෑ. අයින් වෙලා යනවා එතනින්. හැබැයි මෙතන තව දෙයක් වෙන්නත් පුළුවන්. ඒ තමයි තමන්ගේ ධාතු ස්වභාවයට ගැළපෙන අය හොයා ගෙන ගියේ නැතිනම් ටික කාලයක් යද්දී තමන් අර වටේ ඉන්න අයගේ ධාතු ස්වභාවයට හැඩ ගැහෙනවා. ඒ කියන්නේ එපාම කරපු එකෙක් උණත් හොඳ එවුන් අතරේ ඉද්දි ඒකාටත් ටික කාලයක් යද්දී හොඳ වැඩක් කෙරුවට මහා ලොකු අවුලක් නෑ කියලා හිතෙනවා. ඒ වගේම අපත සෙට් එකට වැටුන හොඳ එකෙකුත් ටික දවසක් යද්දී ගන්න දෙයක් නැති වෙන්න පුළුවන්. මොකද ධාතු ධාතු හැමවෙලේම ගැලපෙන්න ඕනේ. නැතිනම් පැවැත්මක් නෑ.

ප/ලි
උඩින් කියලා තියන ධර්ම කාණ්ඩය අර ගත්තේ ඛුද්ධක නිපාතයේ පළමුවෙනි පොත් වහන්සේගේ ඉතිවුත්තක පාළි කොටසට අයිති තික නිපාතයේ තුන්වෙනි වර්ගයේ ධාතු සංසන්දන සුත්‍රයෙන්.


16 comments:

  1. //එතකොට පිටිපස්සේ ඉන්නේ ලෙක්චර් එක ඉවර වෙනකල් නිදාගන්න, විභාගේට සතියක් විතර වෙනකල් ඒ මොනවාද ඉගැන්නුවේ කියලා දන්නේ නැති සෙට් එක.// :-D

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය කුලකයේ හැමදාම

      Delete
  2. බොහොම අගෙයි. ධාතු ධාතු හැප්පිල සකල පිරිස්ම අමරුවේ දාපිය...

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ධාතු වල හැටි නොවැ

      Delete
  3. මමත් ඔය ලෙක්චර් එකේ අන්තිම පේලියේ ඉන්න එකෙක්.. මුල පේලියකට ආපු දාට මං ඉවරයි..
    දවසක් ලෙක්චර් කෙනෙක් මට නොසෑහෙන්ඩ බැනලත් තිබ්බා !

    ReplyDelete
    Replies
    1. මමත් ඕන නම් තුන්පාරක් ඉදලා ඇති මේ අවුරුදු 4 ටම ඉස්සරහා පෝලිමක

      Delete
  4. //විභාගේට සතියක් විතර වෙනකල් ඒ මොනවාද ඉගැන්නුවේ කියලා දන්නේ නැති සෙට් එක.///
    පිටිපස්සෙම සෙට් එකෙ හිටියා කියලා පඩුවක් නෑ පශ්ට ෆන් තමා ..උගන්නලා තියෙන දේ දන්නෙ නැති එකත් මරු

    ReplyDelete
    Replies
    1. අපේ ගොඩක් දෙනෙක් මේ විදිය බන්

      Delete
  5. වැදගත් පෝස්ටුවක් යක්ෂයා... මේ අර යකාද ....?

    ReplyDelete
    Replies
    1. ඔව් සහන අයියේ. නම් ගොඩක් තියෙන්න බෑනේ. ඒ හින්දා අපි වෙන නමක් ගත්තා

      Delete
  6. කාලෙකින් මේ පැත්තේ ආවේ... මේක දැක්කොත් ඉස්සරහ පේලියේ කට්ටිය අල්ලාගෙන ගහවි, පරිස්සමින් ඉන්න..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔයාලා ගැන ද? හෙහෙ හෙහෙ

      Delete
    2. මම ඉතින් කඩුව වනල ප්‍රශ්න එහෙම අහන්නේ නැහැ නේ යකා.. පාඩම නම් හොඳට අහගෙන ඉන්නවා ඉතින්.

      Delete
    3. අපරාදේ කියන්න බෑ ඒක නම් ඇත්ත. ඒ වෙනුවට පිටිපස්සේ ඉදන් අපි නිදා ගන්නවා වගේම නිදා ගන්නවා.

      Delete
  7. ධාතු ධාතු............හ්ම්ම් ඒ කතාව හරි තමා...හැබැයි අපි හිටියේ මැද පේළියේ...ඉස්සරහ උනුත් දිරවනවා පස්සෙ උනුත් දිරවනවා...අපේ සෙට් එක නැතුව අපිට හරියන්නෑ හැබැයි....හික්..........

    හැබැයි අන්තිම පේලියේ ඉන්නෙ ෆනී සෙට් එක..උන් නැත්තන් පංතියම පාළුයි

    ReplyDelete
    Replies
    1. අනිවා, ඒ ලෙවල් කාලේ පන්ති යද්දී එහෙමත් සෙට් එක ඉන්න පෝලිමේ ඉදගන්න බැරි උනොත් එදාට පාඩම ඔළුවට යන්නෙත් නැ.
      ගොඩාක් ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න