Tuesday, December 10, 2013

අපි හෙළුවෙන්. ඇවිත් බලපල්ලා



Breaking Bad කියලා පහුගිය දවස් ටිකේ ඉවර උණු නියම රුපවාහිනි කතා මාලාවක් තිබබා. අපේ කැම්පස් එකෙත් ගොඩක් එවුන් දත කට මැදගෙන ඒක බැලුවා. කාල වේලාව ගැටලුවක් උණේ නැති නම් මේ වෙද්දී යකාත් ඒක බලලා හමාර කරලා ඉවරයි. ඒ වගේම ඒක අවුරුදු 4ක් හොදම රුපවාහිනි කතා මාලාව විදියට තේරුණා. මෙච්චර වැදගත් කතා මාලාවේ හරය මොකක්ද කියලා පොඩ්ඩක් බැලුවොත් තමයි කාට කාටත් තරු පේන්නේ. ඒකෙ තියෙන්නේ Methamphetamine කියන මත් ද්‍රව්‍ය හදන රසායන විද්‍යා ගුරුවරයෙක් ගැන. මේකෙන් පස්සේ මත් ද්‍රව්‍ය ගැන ආකල්පය ලෝකේ පුරා සෑහෙන්න වෙනස් උණා. ඒක ගැන පස්සේ වෙනම ලිපියකින් කියන්න ඕන. දැනට එක කතාවක් විතරක් කියන්නම්. මගේ යාලුවෙක් ඉන්නවා. මිනිහා මේ කතාව බලලා මට කියපු දේ තමයි,
"මචං මමත් එක පාරක් හරි 'මෙත්' - ඉහලින් විස්තර කල මත් ද්‍රව්‍ය - ගහනවා. වෙන දෙයක් හින්දා නෙවේ Breaking Bad එක වෙනුවෙන්"
 ඒකා කියන දෙයක් අහන්නේ නැති එකෙක් හින්දා මම මොනවත් කියන්න ගියේ නැතිය. මොන ලෝකෙන් හරි ඕක ගහලාම තමයි මිනිහා නවතින්නේ. ඒ අපි ආදරය කරන, දකින්න අහන්න ලැබෙන දේවල් වල වැරදි අපි අපේ ජිවිතේට එකතු කරගන්න විදිය.



ඊලඟ කතාව හුඟාක් ප්‍රසිද්ධය. හැමෝම දන්නා එකකි. ඒ හින්දා ඒ ගැන ලොකුවට කියන්න යන්නේ නැත. නම සීතාම්බර පට වස්ත්‍රය වේ. රජා හෙළුවෙන් පාරේ ගිය විට වටේ ඉන්න එවුන්, "අනේ උඹ හෙළුවෙන්" කියා කිව්වේ නැත. "නියම වස්තරය රජෝ" කිය කියා කෑ ගසා ආ වැඩුවේ උන්ගේ පණ්ඩිත කම පෙන්වන්නටය. අඩු ගණනේ ඇත්ත කියලා චාටර් වෙනවට රෙදි ටිකක් අපුල්ලා දීලා බඩ පුරවා ගන්නටය. ඒක නිසා ඒ ගෝලයන් අත ඒ හැටි දොසක් නැත. 

දැන් අනිත් කතාව. අපිටම කියලා දැන් සින්ඩියක් තියනවා. ඒ හින්දා කවුරුවත් ආවේ නැති blog වලට පවා දැන් දැන් ටික දෙනෙක් එනවා යනවා. ඒකට උපාකාරයක් විදියට පහුගිය ටිකේ දන්න අදුරන එවුන් සේරටම කියලා පොඩි ප්‍රචාරයක් දෙන්න ට්‍රයි එකක් දුන්නා. ඒත් කරුමෙට ගොඩාක් එවුන්ට බ්ලොගක් නැත. සමහරක් එවුන් ඒ මොකක්ද කියලා දන්නේ වත් නැත. එහෙම උන්ට අමුතුවෙන් ඒ ගැන කියලා දෙන්නත් උණා. යකාත් මේකට අලුත් නිසා මහා ලොකු බ්ලොග් ගොඩක් රෝලේ නැත. ඇත්තේ හෙන පොඩි ගානකි. බ්ලොග් ගැන කියා දෙන්න ගිය වෙලාවක, ඕකේ තිබ්බ එක ලිපියක් දැක්ක එකෙක් "අප්පට සිරි යකෝ මේ අරවානේ" යැයි කිවේය. අරවා යනු සිංහල සාහිත්‍යයේ කිඩාරම් මල් නිසා ඒ ගැන යකා අමුතුවෙන් කියන්න යන්නේ නැත. මෙතන දී යකාට පොඩි ගැටළුවක් මතු වේ. කැම්පස් වල ඉන්නේ පොඩි එවුන් නොවන වග අවසාන අවුරුද්දේ ඉන්න යකා හොද හැටි දනිමි. එහෙමයි කියා අමු තිත්ත කුණුහරුපයක් බලාපිය කියා වටේ ඉන්න එවුන්ට කීමට යකාට බැරිය. එකක් දෙකක් නරක උණාට අනිත් වා සියල්ල වටින බව ඇත්ත උණත්, ඒ බහුතරය පවා අර නරකය අනුමත කර ඇති නිසා - අඩු තරමේ ඒ විදියට පේන නිසා - යකාට ඒ වෙනුවෙන් කඩේ යාමටද නොහැක. ඒ නිසා බලන එකෙක් බලාගනිල්ලා. ලියන එකෙක් ලියා ගනිල්ලා කියා යකා තමන්ගේ පාඩුවේ ලියා ගෙන යන්ට හිත හදා ගත්තා.



දැන් මේ සේරම මගින් අපිට දෙන නිගමනය. 
මිනිහෙක් උණාම ලජ්ජා බය දෙක තිබිය යුතුය. එයට දේව ධර්මය කියා කියන්නේ ඒ දෙක ඇති විට යහපත් සමාජයක් ඇති වන නිසාය. ඒ කියන්නේ පව් කිරීමට ලජ්ජා වෙන්නත් විපාකයට බය වෙන්නත් ඕනෑ වේ. මේ ලෝකේ මිනිහෙක් අතින් වරදක් වෙන්න ඕනා තරම් ඉඩ ඇත. ඒත් හිතා මතා වරදක් කිරීම අනුමත කල නොහැක. වරදක් කිරීමට සිතට එන විට ඔහු ඒ වරද නිසා ඇතිවන අවමානයට ලජ්ජා විය යුතුය. 
"අනේ මගේ ළමයි, බිරිඳ, දෙමව්පියෝ දුක් වෙයිනේ මම මේ දේ කලොත්"
"මගේ යාලුවෝ ආයේ මුණවත් බලන එකක් නැනේ"
නමුත් අවාසනාවට,
"නියම වැඩක් බන්"
"ඔහොම තමයි ඉන්න ඕනේ"
කිය කියා එය අනුමත කරන සමාජයක ඔහු තව තවත් වීරයෙක් වනවා මිස ලජ්ජා වට පත් වී එම වරද හදා ගන්නේ නැත. සීතාම්බර පට වස්තරය කතාවේ තමන්ගේ බඩ ගැන හිතා කඩේ ගියාට, එහෙමත් නැතිනම් පණ්ඩිත කම ආරක්ෂා කර ගැනීමට කඩේ ගියාට; මෙවන් අවස්තාවක වරදක් යැයි දැක දැකත් කට පියාගෙන ඉන්නේ යාලුවා නිසා විය හැක. අනික පුද්ගලයා වශෙයන් ඉතා හොඳ නිසා විය හැක. එහෙත් යකාගේ අදහස සිංහල බ්ලොග් කරණයේ සැලකිය යුතු බලපෑමක් කලහැකි අය මේ විදියට හැසිරීම ඉතා භයානක බවය. පරමාදර්ශී වීම අවශ්‍ය නැත. එහෙත් විෂමාදර්ශි නොවී සිටිය හැක. එවිට,
"අප්පට සිරි අන්න අරකා හෙළුවෙන් ඉන්නවා, නියම වැඩේ බන්. උඹ තමයි වීරයා. මෙච්චර කාලයක් කාටවත් එහෙම බැරි උණා නොවැ" කිය කියා ප්‍රසිද්ධියේ තබා රහසින්වත් කීව යුතු නැති අශ්ශීල කතා වර්ණනා කිරීම නවතිනු ඇත. 
අවසාන වතාවට කියන්න දෙයක් තියනවා. අපි වරදක් කියන්න ඕනේ අපි ආදරය කරන අයට. නැතුව කොහෙවත් ඉන්න කාටවත් නෙවේ.

9 comments:

  1. ආදරය කරනා අයට ආදරය කරන්න.මොකද ආදරය කරනා විට වැරදි නොපෙනෙන බැවිනි.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. අපි ඒ පැත්තේ එන කට්ටිය නේ නිතරම

      Delete
  2. හරි වැරැද්ද තේරුම් ගන්න බැරි සමාජයක් සහෝ.. බහුතරය ඉන්නේ වැරැද්දටම පොලඹවන අය. ස්තූතියි කැම්පස් සින්ඩියට. මාත් ඒකෙන් බොහෝම බ්ලොග් හොයා ගත්තා. හොඳට ලියන පිරිසක් ඉන්නවා කියලා තේරුනේ එතනින් තමයි

    ReplyDelete
    Replies
    1. අනිවා, ගොඩාක් අය හම්බුනා එතනින්

      Delete
  3. යකෝ මේ යකාව යක්ගලේ ගහන්න එපායැ..

    ReplyDelete
    Replies
    1. //අවසාන වතාවට කියන්න දෙයක් තියනවා. අපි වරදක් කියන්න ඕනේ අපි ආදරය කරන අයට. නැතුව කොහෙවත් ඉන්න කාටවත් නෙවේ.//

      ඉතා මනරම් අදහසක්...

      Delete
    2. පිලිගන්නවා දේශක තුමා මේ පැත්තට බොහොම ආදරයෙන්

      Delete
  4. පරමාදර්ශී වීම අවශ්‍ය නැත. එහෙත් විෂමාදර්ශි නොවී සිටිය හැක- සිරා
    විෂමාදර්ශී- උඹ හදපු වචනයක්ද මේක, මන් අදමයි ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. මටත් මේ වචනේ තියනවාද නැද්ද කියලා පොඩි ගැටලුවක් ආවා. කෙරුවේ හැබැයි කෙරුවේ පුර්ව ස්වර ලෝප සන්ධිය විතරයි. ඒ හින්දා වරදක් නෑ.

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න