Thursday, October 1, 2015

අම්මපා පුවක් වලට වෙච්ච දෙයක්

අමුතුවෙන් ආයේ කතා කරන්න දෙයක් මේකේ නෑනේ. පුවක් කොහොමත් ගණන් තමයි දැන්. පහුගිය මාස දෙක තුනක ඉදන් පුවක් ගණන් ගියපු තරම බැලුවාම ඉස්සරහට රත්තරන් වෙනුවට උකසට තියන්න උනත් බැරි වෙන එකක් නෑ. පුවක් ගණන් ගිය එකෙන් හොදටම පහර වැදුනේ  බුලත් විට කන කට්ටියට. රුපියල් 10 ට තිබ්බ බුලත් විට දැන් රුපියල් 30 40 ට එහා. උඩට පාට කරපු පොල් දාලා බුලත් කොලේක ඔතලා තියන පුවක් කෑලි තුන හතරයි, එනසාල් ඇටයයි, කරාබු නැට්ටයි තව කී නොකී කළමනා සේරම තියන සාර විටයක් උණත් මෙතුවක් කාලෙකට මෙච්චර ගණන් ගිහින් නෑ.
ඉස්සර ඉදන්ම CE ට බුලත් විට හපන්න වැඩි මනාපයක් තිබ්බේ නෑ. දානයකට මල ගෙදරකට ගිහින් බඩ පැලෙන්න කළා එලියට එද්දී ඉලත් තට්ටුවෙන් පුවක් කෑල්ලක් විතරක් හපන්නේ කෑම වේල සම්පුර්ණ වෙන්න මිසක් පුරුද්දකට නෙවේ. පුවක් මිල වැඩි උනත් හරි වැඩිම උණොත් වතාවක් දෙවතාවකට වඩා පුවක් කෑල්ලක් හැපුවේ නැති හින්දා ලෝක වෙළඳ පොලේ පුවක් මිල ගැන CE ට එහෙමටම අවබෝධයක් තිබ්බේ නෑ. වැඩ කරන තැන කට්ටිය කතා වෙනවා ඇහිලා දන්නවා මිසක් නැතිනම් පුවක් ගණන් ගිහිල්ලා කියලවත් දන්නේ නෑ.


පුවක් මිල ඉහල යෑමේ හොදම එක  උනේ පුවකයක් රුපියල් 10 ට නැග්ග එක. පොඩි කාලේ දී ඉදීලා බිමට වැටුණු පුවක් ගෙඩි 100ක් 200 ක් ඇහිඳ ගෙන කඩේට දුන්නා තවමත් CE ට මතකයි. හොදටම ගණන් කාලේ දී උනත් ගෙඩියක් සත 50 කට වඩා ගිය කාලයක් CE දන්නේ නෑ. එහෙව් එකේ පුවකයක් 10 ක් උණා කියන්නේ අදහා ගත නොහැකි ගානක්. අද පුවක් ගෙඩි 100 ක් තියනවා කියන්නේ එසේ මෙසේ වටිනාකමක් නෙවේ. ඇස් දෙක පියාගෙන රුපියල් 1000 ක් ගන්න පුළුවන්. අනික ඒ පුවක් හොඳ තත්ත්වයෙන් තියෙන්න ඕනෙත් නෑ. පුවක් උණා නම් ඒ ඇති. ඉස්සර කඩේකට පුවක් ගෙනිච්චොත්  එතනින් දෙකෙන් පංගුවක් අහක. හොදම ගෙඩි විතරයි කඩේට ගන්නේ. ඒත් අද ගොලෑ ගෙඩියක් උණත් උණු කැවුම් වගේ ඕන කඩේකට ගන්නවා. ගොලෑ කියන්නේ  පුවක් පැසීමට කලින් අවස්තාව. කිරි රසට හැපෙන පොල් කෑල්ලක් වගේ ගොලෑ ගෙඩිය කටින් උනත් ලෙලි අරින එක ඒ හැටි දෙයක් නෙවේ. හැබයි ගොලෑ පුවක් කන්නේ පරිස්සමින්. ඒ මොකද කියනවා නම් ඒවා ඉක්මනට මත් වෙනවා. විට කනවා නම් ගොලෑ පුවක් වලට වඩා පුවකය පැහෙන්න ඕන. අපේ පැත්තේ නම් එහෙම පුවක් වලට කියන්නේ හාල් පුවක් කියලා. හාල් පුවක් කියන්නේ පුවක් ගෙඩිය ඉදෙන්න කලින් තද කොළ පාට උනාම. මීට වඩා ඉදුනා උණත් විට කන්න හොඳ උණත් හාල් පුවක් ගෙඩියක් තරම් රසක් එවිට නැත.

හාල් පුවක්

පන්සලේ හොරෙන් කඩන්න ගිහින් හාමුදුරුවන් ගේ ගුටි කන්න පවා සිද්ධ උණු ලේන පුවක් හැරුණු විට බහුලව තියන පුවක් වලට වඩා පුවක් වර්ග දෙකක් CE දැක ඇත. ඒ අමුතු ලා කොළ පාටක් ඇති පිට පොත්ත තෙල් ගෑවාක් වගේ තියන රට පුවක් සහ රට පුවක් තරමටම ලොකු ඒත් සාමන්‍ය පුවක් වල පාටටම තියන රබ්බඩ පුවක්. රබ්බඩ පුවක් වල විශාලත්වය හැරුනාම වෙනසක් නැති උනත් රට පුවක් වල රසය ටිකක් වෙනස්.
කලින් කීවාක් මෙන් විට කෑමට ලොකු කැමත්තක් නැතත් පුවක් ගැන යාන්තමට වගේ CE ට අවබෝධයක් ඇත. ඒ CE ගේ තාත්තා කාලයක් මේ බිස්නස් එක කොරපු හින්දා. පුවක් තියන කාලේට ඒවා අරගෙන ලොකු ටැංකියකට දානවා. ඊටපස්සේ  වතුර දමා පල් වෙන්න තියන මේ පුවක් වලට කියන්නේ මඩ පුවක්. එක කන්නයකට පුවක් ලක්ෂයක් විතර වතුරේ දාන වල ආපහු ඔරවන්නේ මාස 3 කට 4 කට පස්සේ. හැබයි ඔරවන දවසට ඒ පළාතේ ඉන්න බැරි තරමට පල් ගඳයි. මේ ගඳ පුවක් ගෙඩිය ඇතුලටම අහලා තියන හින්දා ඒ පුවක් කෑමත් එපා වෙනවා. CE ට ගඳ උණාට මේ පුවක් වලට උණත් හොඳ ඉල්ලුමක් තියනවා. පුවක් වල ඔරවන දවසට ලොරි පිටින් ඇවිත් ගෙනියනවා මතකය. 
මඩ පුවක් දමනවා හැරුණම පුවක් කල් තබා ගන්නා අනිත් ක්‍රමය පුවක් කරුංකා කිරීම. ඉදුණු පුවක් කෙලින්ම අව්වේ දාන්න පුළුවන්. අව්ව අඩු කාලේක නම් කණු හතරක් හරහට හිටවලා එකට කිටි කිටියේ හිරවෙන්න ලණු වලින් වෙලපු පුවක් කීරී මැස්සක පුවක් දාලා යටින් දුම් ගහන්න ඕනේ. සතියක් දෙකක් හොදට දුම් ගැහුණාම මේ පුවක් කාලයක් තියාගන්න පුළුවන්. ලේන්නු උරා බීලා ගස් යට දාලා යන පුවක් කට්ටේට වේලුනත් ඉස්ම පිරිලා තියන ඉදුණු පුවක් ගෙඩිය වේලෙන කොට කොහු ගතිය හැදෙනවා. කුරුට්ට හිටින පුවක් හැරුනාම ගොඩක් ඒවා පදමට වේලෙනවා කියලා දැන ගන්නේ ටකස් ටොකොස් ගාලා පුවකේ ඇතුලේ හෙල්ලෙන කොට. පරිස්සමට ගලවා ගත්තාම පුවක් ලෙල්ල කොහු බුසියක් වගේ. මේවා රවුමට අලවලා ඉස්කෝලේ අත් වැඩ පංතියට ගෙනිච්චා කියලා CE ට මතකය.

කරුංකා

ඉදුණු පුවකයක් මෙහෙම වෙලුවාට අමු පුවකයක් වේලන කොට පොත්ත ඉවත් කරන්න ඕනේ. එහෙම නැතිනම් වේලෙන කොට කට්ටේට හිර වෙන පුවක් ලෙල්ල අයින් කරන්න යද්දී පුවක් ගෙඩිය තුවාල වෙනවා. තුවාල වෙන පුවක් නොම්මර එකට දෙන්න බෑ. කහට පුවක් විදිහට නොම්මර දෙකට හෝ තුනට ඒවා ගන්නේ. කහට පුවක් කියන්නේ මේ විදිහට පැත්තක් කැපුන පුවක් විතරමකුත් නෙවේ. හරියට පැහුනේ නැති පුවක් වේලන කොට කහට රහ වැඩි වෙනවා. ඒවාට වැඩි ඉල්ලුමක් නෑ. හොඳ පුවක් වෙන් කරලා ඉතිරි වෙන කහට පුවක් ගොඩවල් ගාණට මුදලාලිට දෙනවා. ගාන රවුම් කරන්නේ මේ පුවක් ගොඩ වල් වලින්. 
මේ හින්දා අමු පුවක් කුරු ගහන්න ඕනේ. ඒකට පොඩි පිහාතලයක් අරන් වරුවක් තිස්සේ ඉදගෙන පොත්ත ගලවන්න ඕනේ. මෙහෙම පුවක් කූරු ගහන කොට CE ගේ සීයා කියලා දුන්නු කුඹුරු කොටන විදිහ තවමත් හොදට මතකය. පුවක් ගෙඩියක් සම්පුර්ණයෙන්ම කූරු ගසන්න උවමනා නැත. එකක් ඇර එකක් වෙන්න පොඩි පොඩි පටි අයින් කෙරුවා නම් හොදටම ඇති. 
මේ දවස් වල හොඳ කරුංකා ගෙඩියක් කියක් දීලාවත් ගන්න නෑ. ඒ තරමට පුවක් හිඟය. හොදට වේලුනාට පස්සේ පුවක් කපන එකත් එසේ මෙසේ වැඩක් නෙවේ. හතර පස් දෙනෙක් වටේ ඉදගෙන පුවක් කපන්න ඕනේ. පැයක් දෙකක් පුවක් කපන කොට ගිරයට අහුවෙන ඇඟිල්ල පුපුරු ගහන තරමට රිදෙන්න ගන්නවා. එතකොට කරන්නේ රෙදි පටියක් අරගෙන ගිරයේ අඬු දෙක හොදට වෙලා ගන්න එක. CE ගේ තාත්තා පැයකට පුවක් 100 කට එහා කපනවා. ඒත් ඒකෙන් භාගයක් වත් කපා ගන්න CE ට බැරිය. පුවක් කපන කොට එපාම වෙන්නේ කුරුට්ට තියන පුවක් අහුවෙන එක. මේවාගේ කුරුට්ට අරින්න වෙනවා.
හොදට වේලුනු කරුංකා ගෙඩියක් කටේ දමා හපන්න ලේසියකින් කෙනෙක්ට බෑ. එක්කෝ ගලකින් ගසා කඩා ගන්න වෙනවා. නැතිනම් පෙත්තට ලියන්න වෙනවා. පන්සලේ දැහැත් වට්ටියට පුවක් තියන කොට කරන්නේ ඒ විදිහට පෙත්තට ලියන එකය. කරුංකා හපන විට නම් මේ විදිහේ පෙති හත අටක් බුලත් කොළයක තබා කන්න CE ගේ අකමැත්තක් නෑ. ඒත් ගොඩක් වේලාවට කරන්නේ හාල් පුවක් කෑල්ලක් හක්කේ තියලා ටකස් ගාලා හපලා කන එක. 
පුවක් කනවා කියන එකත් ලේසි නෑ. ගොඩක් අය දන්නේ නැති උණත් සමහර පුවක් වලින් ඉක්මනට මතේ ගහනවා. යාන්තමට කන් අඩිය රත් වේ ගෙන එන එක ඕනෑම පුවකයක් හැපුවම වෙනවා උණත් සමහර පුවක් කන විට ඉහින් කණින් දාඩිය වැක්කෙරන්න ගන්නවා. කරකැවිල්ල විතරක් නෙවේ ඇදගෙන ඉන්න ඇදුමේ ම මල පහ වුනු අවස්තාවක් ගැන CE අහලා තියනවා. ඒ ඔට්ටුවට මත් වෙන පුවක් ගෙඩියක් කන්න ගියපු CE ගේ ගමේ කෙනෙක් ගැන. 
මේ විදිහට පුවක් ගැන විස්තර මතක් උනේ ලඟදි CE ගේ නෑදෑ කෙනෙක් නැති වුනු වෙලාවේ පුවක් හොයන්න ගිහින් කාපු කට්ට හින්දා. වෙනදා වත්තේ ගස් දෙක තුනකට ගොඩ උනාම පුවක් ගෙඩි තුන් හාරසීයක් ලේසියෙන්ම කඩා ගන්න පුළුවන්. පුවක් වල්ලක ගෙඩි 100 කට එහා තියනවා. ගෙඩි 200 ක් 300 ක් කියන්නෙත් ඒ හැටි පුදුම වෙන්න දෙයක් නෙවේ. ඒත් මේ කන්නයේ පුවක් ගස් වල ගෙඩි 20 කට වඩා තියෙන්නේ එහෙමත් ගහක. ළඟ පාත වතු දෙක තුනක බලලා ගොලෑ ඉති දෙක තුනකුත් කඩා ගෙන මළ ගෙදරයි පින්කම් ගෙදරයි වැඩ ටික ඉවර වෙනකල් යාන්තමට ජාමේ බේරා ගන්න පුළුවන් උණා. හැබයි දැන් දැන් හැදෙන ඉති වල ආපහු ගෙඩි ටිකක් වැඩි හින්දා තව මාසෙකින් දෙකකින් වගේ පුවක් මිල ආපහු බහිවී. වැඩ කරන මිනිහාගේ ඉදන් ඔෆිස් එකෙන් එලියට බැහැලා ටයි එක සාක්කුවේ දාගෙන ගිහින් බුලත් විට ගන්න ලොකු මහත්වරුන්ට උණත් මේක නම් හොඳ ආරංචියක් වෙයි.

20 comments:

  1. මගේ අච්චිඅම්මා බුලත් කන කෙනෙක් උන නිසා පොඩි කාළේ පුවක් සුද්ධ කිරීම ඉගෙන ගත්තා. ඔබවගේ මහා පරිමාණයෙන් කරන්න නෙමෙයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පුවක් කියන්නේ ලංකාවේ දියුණු කරන්න පුළුවන් වගාවක්ද? ඒ කියන්නේ වෙන රටවල ඉල්ලුමක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. පුවක් වලට කොහොමත් හොඳ ඉල්ලුමක් තියනවා. විට කන්න වගේම ඩයි වර්ග හදන්නත් ගන්නවා ලු. ලංකාවේ අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නෑ. දිය සීරාව තියනවා නම් හොඳට හරියනවා. වතු වගාවක් විදිහට උනත් කරන්න පුළුවන් කෙනෙක් ට. හැබයි ඉතින් දැන් දැන් අපේ ගෙවල් පැත්තෙත් පුවක් ගස් අඩුයි.

      Delete
    2. ලු නොව හදනවා ඒක ඇත්ත
      අනික දකුණු ආසියා කලාපේ පුවක් වලට හොද ඉල්ලුමක් තියෙය්
      විසේසෙන්ම ඉන්දියන් උංගෙන් බංගලංයන්ගෙන්
      පක්කො නං කනව අඩුයි

      Delete
  2. ඊයේ පෙරේදා දානෙකට දැහැත් විට හදන්න පුවක් ගන්න කියා කුරුණෑගලට. පුවක් ගෙඩියක් රු 20 යි ගෙඩි 10 ට වඩා අඩුවෙන් දෙන්නේ නැහැ.

    යකෝ පුවක්ගස් 10 ක් තිබුණා නම් ප්‍රාඩෝ එකක් ගන්න තිබුණා.

    පුවක් හිගයට බලපාන තව සාධකයක් තමයි වෙසක් පොසොන් කාලෙට තොරණ ගහන්න පුවක් ගස් කැපීම.

    ReplyDelete
    Replies
    1. අපි හිතුවේ අපිට තමයි වැඩිම ගාණට සෙට් උනේ කියලා. ඒ ගෙඩියක් 13.50 ට. දැන් බලාගෙන යද්දී එතන තව හොදයි නේ

      Delete
  3. මං බැලුව මේකෙ අඩුමාවක් හොයන්න
    කොහෙද පිරිල ඕක්කම. හෙක් යකත් හොද පුවකයක් බලං ගියාම
    රබ්බඩ පුවක් වලට ඉල්ලුම හොදයි දන්න තරමිං. අනික් කිසි පුවකෙකට වඩා. මොකද හොද සාරසුභාවට හැදිල පේන රබ්බඩ විකුණන්නත් ලේසියි
    කරුංක නං හැදෙන්නෙ අඩුවෙං ඔක්කම විට කන්නම ගන්ව
    ඒත් මඩ පුවක් නං වැටෙනව
    කොය තරං ගද වුණත් මඩ පුවක් විටේට ගහන්න වෙන පුවකයකට බෑ හැක්

    ReplyDelete
    Replies
    1. ඔය මඩ පුවක් කතාව හැමෝම වගේ කියනවා. ඒත් මට ඒක එච්චර දිරවන්නේ නෑ

      Delete
  4. පහුගිය දවසක මම ඇහුව ගනන්. ගෙඩිය 12යි තොග!

    ReplyDelete
  5. මේ පැත්තෙත් ඔය තත්තෙ තමයි බොල.
    මෙහේනං කේස් එක වෙලා කියන්නෙ පතල් වලට පුවක් ගස් කැපීම නිසා ගස් අඩුවෙලා කියලයි.

    ReplyDelete
    Replies
    1. හැම පැත්තේම ඕක තමයි අවුල. පුවක් ගස් කැපෙන එක

      Delete
  6. මම පහුගිය ජුලිවල ලංකාවට ගිය වෙලේ පුවක් ගෙඩියක් රුපියල් හයයි.මේ ටිකට ඒක ඩබල් වෙලා.ලංකාවෙ පුවක් ගස් කැපෙන වේගෙට අලුත් ගස් හිටවන්නෙ නැති එක තමයි පුවක් මිළ යාමේ එකම හේතුව.ඉස්සර වතුවල උඩක ඉඳල තැන තැනට පුවක් ගෙඩි විසි කරනවලු පැල වෙන්න ගස් කපනවට සාපේක්ෂව අලුතෙන් ගස් වවල තියෙන්නෙ එහෙමයි.දැන් කපනවා විතරයි වැවිලි නෑ.අහම්බෙන් ගෙඩියක් වැටුණු තැනක පැළඋනොත් තමයි.

    ReplyDelete
    Replies
    1. තොරන් බැඳිල්ල තමා පුවක් ගහට වදින ලොකුම හෙනේ.

      Delete
    2. @හැලප අයියා - කිව්වත් වගේ මේ පාර වත්ත වටේට පුවක් ගෙඩි ටිකක් විසි කරලා දාන්න ඕනේ
      @ඇනෝ - තොරන් බැදිල්ල ලොකුවටම බලපානවා උනාට තව තව හේතු ගොඩකුත් තියනවා.

      Delete
  7. නියමයි. ලස්සන ශෛලිය, අනගි තොරතුරු. කියවන්න පහසු ලස්සන ෆ්ලෝ එක. තවත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීමට ස්තුතියි

      Delete
  8. අපේ තාත්තා ගේ ඉස්සර කාලේ වෙළඳාම වුණේ පුවක්... සතියකට පුවක් 10000 ක් වගේ අනිවාර්යෙන් අපේ ගෙදරට එකතු වෙනවා... රුපියල් 6000.00 ක් 7000.00 ක් වගේ ගාණකට තමයි එයා ඒවා දුන්නේ...
    අනික් ජාතිය ලොකු ජාතිය. රට පුවක්... හපන කොට ටිකක් මත් වෙනවා වගේ සමහර වෙලාවට...
    ඒවා 1000 ක් නම් රුපියල් 1000.00ක් 1500ක් වගේ උණා...
    ඒ කියන්නේ සාමාන්‍ය ඒවා ගෙඩියක් ශත 60ක් 70ක් වෙන කොට රට පුවකයක් රුපියලක් රුපියල් 1.50ක් වගේ තමයි වුණේ...
    ඒත් දැන්..???
    දැන් මම ඉන්න පැත්තේ වැඩියෙන් ම යන්නේ කරුංකා පුවක්...
    (කාලීන ලිපියක්... ලස්සනට ලියලා තියෙනවා... අද තමයි මේකට මුලින් ම ආවේ...)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිරිමත් කෙරුවාට. දිගටම එහෙනම් එන්න මේ පැත්තේ

      Delete
  9. තව ටික දවසකින් පුවක් ගෙඩියත් පොල් ගෙඩියේ ගානම වෙයි

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ. මේ ටිකේ පොල් වල ගණන් ටිකක් අඩු වෙලා තියනවාත් එක්ක නේ

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න