Wednesday, March 26, 2014

කං කං බූරු ශින් ශින් නෝරු සමඟ වැඩ ඇල්ලීම

මොනවා හරි දෙයක් ලියන්න කියලා හිටියට ඒක අතපහු වෙලා ගියා. මොනවාහරි නෙවේ ඇත්තටම ලියන්න දේවල් නම් ගොඩක් තියනවා. ඒත් යකා මේ දවස් ටිකට දිනපතා එකම විදියේ රාමුවකට කොටුවෙලා. සුපුරුදු වැඩ පිළිවෙල සේරම අනිත් පැත්ත හැරිලා. කැම්පස් එකේ ඉද්දි යකා වැඩ පටන් ගන්නේ රෑ 10 ට විතර. ෆිල්ම් එකක් හරි ටීවී සිරිස් එකක් හරි බලලා, බ්ලොග් ටික සේරම කියවලා, බුකිය පැත්තේ කරක් ගහලා තව ගේම් එකක් ගහන්නත් ඕනා තරම් වෙලාව තිබ්බා. රෑ 2 ට විතර නිදාගෙන උදේ 10 ට විතර නැගිටලා (ලෙක්චර් තිබ්බොත් 7 ට, ඉතුරු ටික ලෙක්චර් එකේ නිදා ගන්නවා) සරල ජිවිතයක් ගත කරපු යකා දැන් වැරදිලාවත් 10 වෙනකල් ඉන්නේ නෑ. 7 ට 8 ට වැඩ ඉවර වෙලා නාලා කරලා ඉවර වෙද්දී 9 පහුවෙලා. එතකොට ආයේ වෙලාවක් නෑ පරණ දේවල් වලට. ඒ හින්දා දැන් බ්ලොග් එකක් කියවන්නේ වැඩ කරන වේලාවේ විවේකයක් අතරදී. 
මේ දවස් ටිකට යකා ඒකාකාරී ජිවිතයට ටිකක් හුරු උණා කිව්වොත් හරි. ඉස්සර මාරම අවුලක් තිබ්බේ කොහොමද මිනිහෙක් එක දිගට ඉදගෙන හැමදාම කල් ගෙවන්නේ කියලා. ඒත් මුළු කාලය උදේ තේ වෙලාව, දවල් කෑම වෙලාව, 3 තේ වෙලාව, පහ හමාරේ තේ වෙලාව සහ හැන්දෑ වරුව කියලා බෙදා ගත්තාම එකේ ලොකු අවුලක් නැති තරම්. වරකට එක කාල සිමාවක් විතරයි ගෙවන්න තියෙන්නේ. යකාට අලුත් උණාට අනිත් කට්ටියට හොදටම පුරුදු කාර්යාල ජීවිතය ගැන කියන්න මේ ලිපිය නාස්ති කරන්න යකාට අදහසක් නෑ. හැබැයි ඉතින් වැදගත් කියලා හිතෙන දේවල් ටිකක් විතරක් කියන්න වෙනවා. මොකද ඉස්සරහට ගොඩාක් පෝස්ට් වලට පාදක වෙන්නේ මේ පරිසරය හින්දා. අපිට ඉතින් හැලප අයියා වගේ වාක්‍යයෙන් වාක්‍යයට පඳුරු තැලිල්ල පුරුදු නැති හින්දා කලින්ම වටේ සුද්ද කරලා තම්පලා ගහ කපන්න හිතුවේ. එතකොට වැඩේ පිළිවෙලයි නොවැ.
මේකට දාලා තියන නම තමයි කං කං බූරු ශින් ශින් නෝරු කියලා. ඒ වෙන මොකක්වත් හින්දා නෙවේ, යකා වැඩ කරන තැන PM සහ Internal Planning Manager දෙන්නගේ නම් දෙක තමයි ඒ. මතකනේ කලින් එකේ දී කිව්වා මේක කොරියානු සමාගමක් කියලා. කොහොමත් දැන් කාර්යාලය ඇතුලේ භාෂා 4ක් කතා කරනවා. ඒ අපි අපි අතර සිංහල, කොරියන් නිලධාරීන් අතර කොරියන් භාෂාව, අප සහ කොරියන් නිලධාරීන් අතර ඉංග්‍රීසි, සුළු සේවකයන් අතර දෙමල භාෂාව. ඔය අතරේ කොරියන් නිලධාරින්ට ශුද්ධ සිංහලෙන් අදහස් ප්‍රකාශ කරන අවස්ථා නැතුවමත් නෙවේ. ඒත් දැන් උනුත් අපේ භාෂාවේ සුද්ධ සිංහල හෝඩිය ඉගෙන ගෙන ද මන්දා.
යකාට තියෙන්නේ හැටන් - නුවර එළිය සංවර්ධනය කරන ව්‍යාපෘතියේ සැලසුම් කරණයට උදව් වෙන්න. ඒ හින්දා අඩුම වතාවේ සතියකට වතාවක් මේ පාරේ මුල් ඉදන් අගට යන්න ඕනේ. ඒ යන අතර මැද දී තමයි සුන්දර ඩෙවොන් ඇල්ල සහ ශාන්ත ක්ලෙයාර් ඇල්ල හම්බෙන්නේ. හදිස්සියට යන ගමන් නවත්තලා ෆොටෝ එකක් ගහගත්තා. යකාට ඡායාරුප කලාව එච්චර හරි යන්නේ නැති හින්දා වැඩිය ලස්සන නම් නෑ. අනික දැන් ඉහල කොත්මලේ විදුලි බලාගාරය හින්දා ශාන්ත ක්ලෙයාර් ඇල්ල දැන් එච්චර ලස්සන නෑ.

සුන්දර ඩෙවොන් දිය ඇල්ල
නිරුවත් වී ඇති ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල
මේක ඉවර කරන්න කලින් කාරනාවක් දෙකක් තියනවා කියන්න. එකක් තමයි මේ ව්‍යාපෘතියේ තියන විශේෂ ලක්ෂණයක් ගැන. ඒ තමයි කොටගල කියන ස්ථානයට ආසන්නයේ දී හැටන් නුවර එළිය මාර්ගය දුම්රිය මාර්ගයට යටින් යනවා. සුද්දා ගේ කාලේ ඉදලා තිබ්බ බිම් ගෙය තියෙන්නේ තද වංගුවක් එක්ක. ඒත් එක්කම ඒක හරි පටුයි. ඒ හින්දා අලුතෙන් උමඟක් භාවිතා කරන්න තීරණය කරලා තියනවා. විශේෂත්වය තමයි උඩින් චලිතමය බලයක් (Dynamic Force) තියෙද්දී යටින් ගල පුපුරවලා ඉදි කිරීම් කටයුතු කරන්න තීරණය කිරීම. ඉතිං හා හා පුරා කියලා කරන පලවෙනි රස්සාවේ මේ විදියේ දෙයකට දායක වෙන්න ලැබුණ එක ගැනත් යකාට සතුටුයි.
හැටන් - නුවර එළිය මාර්ගය සහ ඉහලින් දිවෙන දුම්රිය මාර්ගය

වර්තමාන කොටගල බිම්ගෙය

දුම්රිය මාර්ගයට යටින් දිවෙන යෝජිත බිම්ගෙයි හැටන් අන්තය සහ
බෑවුමේ ආරක්ෂාවට soil nailing තාක්ෂණය යොදා ගන්නා ආකාරය

අනිත් කාරණේ තමයි, අපි ගාලු පාරේ යද්දී ඒකෙ සංවර්ධනය කටයුතු හින්දා සිදුවුන ප්‍රමාදය ගැන ගොඩාක් තරහා ගත්තා. ඒත් දැන් තාවකාලිකව මාර්ගය වහපු වෙලාවට කෑ ගහන මිනිහෙක් දැක්කම මුණට දෙකක් අනින්න හිතෙනවා. මම මේ තාමත් කල්පනා කරන්නේ කොච්චර පොඩි කාලෙකින් අපේ අදහස් වෙනස් වෙනවද කියලා. ඉක්මනින්ම හම්බෙනකල් හැමෝටම සුභ අලුත් අවුරුද්දක්. (ටිකක් කලින් සුභ පැතුවේ ආයේ අවුරුද්දට කලින් එන එක ශුවර් නැති හින්දා)

ප/ලි
වසන්ත සැණකෙළියට නුවර එළි යන කට්ටිය හැටන් හරහා යන්න ඉන්නවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න. කොළඹ ඉදන් හැටන් දක්වා මාර්ගය අවහිරයක් නැති උණාට, හැටන් ඉදන් තියන දුරෙන් කොටසක් විතරයි හරියට හදලා තියෙන්නේ. ඒ හින්දා අතර මඟ දී සුවපහසුව කියන දේ පොඩ්ඩක් අඩුවෙන්න පුළුවන්.

21 comments:

  1. කොටගල බිම්ගෙය ගැන දන්නේ නැතුව මහ වේගයෙන් එන පිට පලාත්වල රියදුරන් අනතුරු කරගන්නා හැටි මම 1980 දශකයේ සිට දැක තිබෙනවා. මේ පාර මීට වඩා පළල කලයුතුයි. මේ වැඩේ බොහොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විචාරක තුමා එතැන බිම්ගෙය තියෙන්නේ තද වංගුවක් එක්කනේ. ඒත් එකක්ම බිම්ගෙය ගොඩාක් පටුයි. අලුත් සැලසුමේ හැටියට වංගුව මඟ හරවන්න ඕනේ හින්දයි අලුත් තැනකින් උමඟක් යෝජනා කරලා තියෙන්නේ. දැනට තියන තනි මං තීරුව වෙනුවට මං තීරු දෙකක් හදන හින්දා මේ අනතුරුදායක තත්ත්වය අඩුවෙයි ඉස්සරහට.

      Delete
  2. මේවා හොද වැඩ කව්රු කීවත්. සොයිල් නේලින් ගැන වැඩි විස්තර දැනගැනීමට කැමතියි.

    ReplyDelete
    Replies
    1. අපිට අවශ්‍ය ඉඩ ගන්න සෑහෙන පස් ප්‍රමාණයක් කපලා ඉවත් කරන්න උණා. මොකද අලුත් පාර යන්නේ දැන් තියන තැනට වඩා වෙනස් තැනකින්. ඒත් එතකොට ලොකු බෑවුමක් ඇතිවෙනවා. ඒක ස්ථාවර නෑ. පහුගිය කාලේ පස් කඳු කඩා වැටෙනවා කියලා අහන්න ලැබුනේ මේ වගේ අස්ථාවාර බෑවුම්. ඒවා ස්ථාවර කරන්න ඕනේ. ඒකට තමයි සොයිල් නේලින් තාක්ෂනය යොදා ගන්නේ. මෙතන දී කරන්නේ පස ඇතුලට යකඩ කම්බි (මෙතනදී නම් 6 m දිග 25 cm විශ්කම්භයක් තියන ගැල්වනයිස් කම්බි) ඇතුල් කරනවා. ඊට පස්සේ ඒක සවි වෙන්න වටේට සිමෙන්ති මිශ්‍රණයක් (grout) යවනවා. මේ වගේ සිදුරු 176 ක් අපි හැටන් අන්තයේදී භාවිතා කරනවා. ඊට පස්සේ ඒවා උඩින් ආපහු 10 mm මෙටල් වලින් හදපු ග්‍රේඩ් 40 කොන්ක්‍රීට් මිශ්‍රනයක් විසිර විදිනය (spray) කරනවා. මේ යකඩ කම්බි ඇතුල් කරන එකේ අවශ්‍ය තාවය සරලවම කිව්වොත් හරියට අපි කොන්ක්‍රීට් එකක් සවි වෙන්න යකඩ කම්බි දානවා වගේ. ඇත්තටම සිදු වෙන දේ නම් ඒකට වඩා පොඩ්ඩක් වෙනස්. මේ විස්තරය කැම්පස් එකේදී ඉගෙන ගත්ත සහ මේ දවස් වල භාවිතා කරන දත්ත අනුව ලිව්වේ. මගේ දැනුමේ හැටියට තමයි ලිව්වේ.
      මේ සොයිල් නේලින් වලට අමතරව තවත් උපාය මාර්ග කිහිපයක්ම මෙතන දී අරගෙන තියනවා බෑවුමේ ස්ථාවර තාවයට.

      Delete
  3. ජයවේවා!!! මෙවා හොද වැඩ පරිසරයට කරන හානිය අවම නම්

    ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල///මෙක ගැන තව පොඩ්ඩක් ලියනවා ද ??ඔය කොත්මලේ නිසා නේද ඔකට ඔය ටික වුණේ ???

    ReplyDelete
    Replies
    1. ඕනෑම සංවර්ධන ක්‍රියා දාමයකදී පරිසරයට හානියක් වෙන එක වළක්වන්න අමාරුයි ඇත්තටම. මේකේ දීත් අලුතෙන් පස් කඳු කපලා පාර පළල් කරද්දී යම් කිසි හානියක් වෙනවා. ඒත් ඒවා හැකිතාක් අවම කරන එක තමයි වැදගත් දේ.
      ශාන්ත ක්ලෙයාර් ඇල්ල කියන්නේ කොත්මලේ ඔයේ තියන දිය ඇල්ලක්. ඉහල කොත්මලේ විදුලි බලාගාරය හැදුවට පස්සේ එකට ජලය එන මාර්ගය ඇහිරුණා. ඒ හින්දා දැන් කරන්නේ පරිසර නිකුතුව (Environmental Release) කියලා පොඩි කොටසක් විතරක් නිකුත් කරන එක. හැබැයි ඉස්සර තරම් ලස්සන නැති උණාට යම් කිසි විදියේ සුන්දරත්වයක් තියා ගන්න ඒක ප්‍රමාණවත්. වැස්ස කාලේට විතරයි දැන් සම්පුර්ණ දිය ඇල්ල බලන්න පුළුවන්. අපි වගේ දුප්පත් රටවලට මේ විදියේ කැප කිරීම් කරන්න වෙනවා. නැති නම් වෙන්නේ තවත් ලෝකෙට ණය වෙලා තෙල් වලින් විදුලිය ලබා ගන්න

      Delete
  4. කාට කාටත් කියන්න ලේසියි කරද්දියි අමාරුව තේරෙන්නේ. යකාට දැන් වෙලා තියෙන්නෙත් ඒ දේම තමයි සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා කියන්නේ රස්සාව ගැන නම් ඒ කතාව සම්පුර්ණ ඇත්ත ඕන්.

      Delete
  5. අඩේ මාවත් ඔය පැත්තේ දවසක් දෙකක් ඉන්ඩ එක්ක යන්කො බොලා... ගිහින් නැවතිලා එන්ඩ ආසයි !!!

    ReplyDelete
    Replies
    1. නැවතිලා ඉන්න නම් ඇවිත් වැඩක් නෑ. ඇවිදින්න යන්න තමයි එන්න ඕනේ. අපි නම් ඉතින් බල බලා යනවා විතරයි. වේලාවක් නෑනේ

      Delete
  6. හොඳයි හොඳයි යකෙක් උනාට හරිම ලස්සන තැනකට වැඩ කරන්න වැටිල තියෙන්නෙ.සයිට් එකේ ඉන්න එකම යකා ඔබද.

    ReplyDelete
    Replies
    1. මම නම් ඉතින් සයිට් එකේ නෙවේ ගොඩක් ඉන්නේ. හැබැයි ඉතින් ඉන්න එකම යකා නම් මම තමයි

      Delete
  7. "අපි ගාලු පාරේ යද්දී ඒකෙ සංවර්ධනය කටයුතු හින්දා සිදුවුන ප්‍රමාදය ගැන ගොඩාක් තරහා ගත්තා. ඒත් දැන් තාවකාලිකව මාර්ගය වහපු වෙලාවට කෑ ගහන මිනිහෙක් දැක්කම මුණට දෙකක් අනින්න හිතෙනවා."
    හැක හැක හැක ඔය එන්නේ ට්‍රැක් එකට වැටීගෙන .ඔහොම් යන ඔහොම යන්

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඒකද එතකොට හරි විදිය​?

      Delete
  8. අපි කල්ලඩි පාලමේ වැඩ කරන කාලේ, අලුත් පාලමේ ඉදි කිරීම් කටයුතු වලට අවශ්‍ය උනාම පරණ පාලම වහනවා. පෙර දැනුම් දීම් කරලා, පත්තරේ දැන්වීම් දාලා, පාලම ළඟ බෝඩ් එකක් ගහලා පාලම වැහුවත් මිනිසුන්ගේ ඉවසීම අඩුයි. ඕවා ඔහොම තමයි ඉතින් කරන කෙනාට තමයි තේරෙන්නේ වැඩේ අමාරුව.
    සොයිල් නේලින් වලට ගන්නා මිශ්‍රණයේ තියෙන්නේ ජලය සහ සිමෙන්ති පමණයි කියලයි මම හිතන් උන්නේ යකා.
    ඔයාට හරිම ලස්සන පැත්තක වැඩ කරන්න ලැබුණු එක ගැන සතුටුයි. ගම වගේම ලස්සන යකින්නියකුත් ගමෙන්ම හොයාගන්න ලැබේවා. :) පරිස්සම් වෙලා ඉන්න, තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. සොයිල් නේලින් වලට ගන්න එකේ තියෙන්නේ ඒ දෙක විතර යි. මේ කිව්වේ ඒක මතු පිටින් යන ශොට්ක්‍රීට් එක ගැන​,
      උඹ මගුලක් කතා කරනවා ආයේ

      Delete
    2. මගුලක් තමයි කතා කලේ :D

      Delete
  9. පරිසර සංරක්ෂනය සහ සංවර්ධනය... ඒක නිකං හරක් මසුය් මාස් සොලෝසුයි වගේ කිසිම ගැල පීමක් නැ...
    පුලුවන් තරං හොදට වැඩ කොරහල්ලා.... අඩුගාණෙ අවුරුදු 20ක් 30ක් වත් තියෙන්න ....
    හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. මේක සැලසුම් කරන්නේ නම් අවුරුදු 20 කට. සාමානයෙන් අවුරුදු 20 කට පස්සේ ට්‍රැෆික් එක වෙනස් වෙන්න පුළුවන් හින්දා පාර කැඩිලා නැතත් අලුත් වැඩියාවක් කරන්න වෙනවා

      Delete
  10. නිවාඩු දවසට ෆුල් රිලැක්ස් එකේ හිටපන් හොඳට කාලා බීලා ෆිල්ම් එකක් බලල කාරිය. එතකොට ඔය ඒකාකාරි ගතිය නැතිවෙයි. සුළු සේවකයා කියන සංකල්පය තාම භාවිතයේ තියෙනවාද?මෙහේ අපි ඉන්න ගමේ පෙට්‍රල් ශෙඩ් එක අතුගාලා ක්ලීන් කරන්න එන්නේ එහා පැත්තේ බැංකුවේ හිටපු මැනේජර්. රිටයර් වෙලා පාට් ටයිම් ක්ලීනින් කරනවා. ගේ තියෙන්නේ ඒ කිට්ටුවම.

    ReplyDelete
    Replies
    1. මම සුළු සේවකයෝ කිව්වේ හරියටම තනතුරක් දන්නේ නැති හින්දා. ළඟ පාත කොල්ලෝ දෙන්නෙක් එනවා. අතු පතු ගාන ඒවාටයි, ෆොටෝ කොපි ගහනවා වගේ වැඩ වලට. සාමාන්‍යයෙන් අපි සයිට් එකක ඉද්දි වැඩ කරන්න එන අයගෙන් විශ්වාසම කෙනා ගන්නවා නේ ඔෆිස් එකට. ඒ වගේ වෙන්න ඇති, තාම වැඩි විස්තරයක් මාත් දන්නේ නෑ

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න