Friday, January 17, 2014

මාෆියාවරුන් පසුපස

කෑලි කපන ගණ අඳුර මැදින් නිහඩවම ඇවිද යන තිදෙනෙකි. අඩි හයකට වඩා මඳක් උස නායකයා යැයි කීව හැකි කාල වර්ණ තැනැත්තා තම සගයන් දෙදෙනා දෙස බලා හිස සෙලෙව්වේය. ප්‍රමාණයෙන් අනෙක් දෙදෙනාටම වඩා කෙසඟ පුද්ගලයා වචනයෙන් නොකියවුණු දෙය තහවුරු කරගන්නා අටියෙන් විමසිලි බැල්මක් හෙළුවේය. ගණ රැවුලකින් මුහුණ වසා ගත් තෙවැන්නා කල්පනාකාරීව හිස සොලවන ලදී. මෙතෙක් වේලාවක් සඳ ආවරණය කර තිබු වළාකුල මඳක් ඉවත් වීමෙන් වැටුන එළියෙන් තිදෙනා අතම කළු පැහැති කිසිවක් තිබෙන බවට ඡායා මාත්‍රයක් සැඟවී සිට බලන්නෙකුට පැහැදිලිවම දිස් වීමට ඉඩ ඇත. එසේම පෙර කී තිදෙනා නතර වී ඇත්තේ සාමාන්‍ය ප්‍රමාණයේ ගෙයක් අසල බව ද ඔහුට නොපෙනී යාමට හේතුවක් නොමැත. නැවතත් වලාකුලක් විසින් සඳ ආවරණය කරන ලද්දේ අඳුර ලඟා කරවමිනි. රැහැයි නාදය අභිබවා එක්වරම....


===============================================
"ක්ලෑන්ග් ක්ලෑන්ග් ශ්ඩ්ට්" 
වෙඩි හඩක්. පිස්තෝලයකින් තැබු හඩක්. නින්දට යාමට සුදානම් ව සිටි වෛද්‍යාවරයා විමතියෙන් යුතුව සවන් දෙන ලදී. හදීස්සියේම ඇති වූ ආවේගයෙන් සීතලට අදින කබාය ඇඳ හැමවිටම සුදානම්ව ඇති උපකරණ පෙට්ටිය රැගෙන එලියට බසින ලද්දේ අරමුණකින් තොරවය. එහෙත් තවත් අසරණයෙක් හෙට දින හිරු නොදකින බවට සිතේ ඇති වූ ආවේගය මත ඔහු පය ඉක්මන් කළේය.
===============================================
වෙඩි හඩ නිසා විමසිලි වුයේ වෛද්‍යවරයා පමණක් නොවන ලෙසකි. ගමේ ආරක්ෂාව භාරව සිටින පොලිස් නිලධාරියාද ඒ දෙසට දිව ගියේ ඒ සැනින්මය. නමුත් ප්‍රමාද වැඩිය. මෙයට වගකිවයුතු කිසිවෙකුගේ සලකුණක් හෝ ඉතිරිව නොමැත. "මාෆියා වරු" හේ තමාටම මුමුණා ගත් අතර මොහොතක විරාමයකින් පසු වේගවත් ගමනකින් කිසිවෙකුගේ නිවස කරා ලඟා විය. "දොර අරිනවා, මේ පොලීසියෙන්....."


===============================================
මේ කිසිවක් නොදන්න ගමේ අනිත් අය පසුදා උදෑසන අවදි වුයේ අනෙකුත් ඕනෑම දවසක් පරිදිමය. එහෙත් ටික වෙලාවකින් ගම හරහා පියඹා ගිය පුවතක් නිසා සියල්ලෝම භීතියෙන් කැළඹී ගියහ. "මාෆියා වරු ඉන්නවා අපි අතරෙම හැංගිලා. කාවද විශ්වාස කරන්න පුළුවන් මීට පස්සේ.....". 
===============================================
එකතු වෙන ගම් වැසියන් මාෆියා වරු සොයා එල්ලා මරාදමයිද? එසේත් නොමැති නම් ඔවුන් අතරම සැඟව සිටින මාෆියා වරු වෙනත් අහිංසකයෙකු එල්ලා මරණයිද? පොලිස් නිලධාරියා කෙසේ හෝ මෙම අභිරහස විසදා ගනියි ද?


===============================================
===============================================
මෙය චිත්‍ර පටියකින් ගත්ත කොටසක් නම් නෙවේ ඔන්න. ඒ වගේම පොතකින් උපුටා ගත්ත එකකුත් නෙවේ. මේක මේ ක්‍රීඩාවක්.
"ආ හරි හරි පරිගණක සජීවිකරණ ක්‍රීඩාවක් නේද"
"නෑ නෑ මේක මේ, මල ගෙදරක එලි වෙනකල් නිදි මරද්දී කාලේ ගත කරන්න කියාපු සෙල්ලම"
"මොකාක්.....?"

වැරදි කෙළවරෙන් පටන් ගත්තාද මන්දා? එහෙම කෙරුවේ පොඩ්ඩක් අගය වැඩි කරන්න. මේ දවස් වල හොස්ටල් එකේ කොල්ලෝ සෙට් එක එකතු වෙලා පාන්දර 2,3 වෙනකල් කරන්නේ මේ සෙල්ලම තමයි. කොහොමත් ඉතිං හොස්ටල් එකේ එක තට්ටුවක අනිවාර්යෙන්ම කාඩ් ෆැක් එකක් තියනවාමනේ. ගොඩාක් වෙලාවට කරන්නේ "කිට්ස්" බලන එක. කට්ටිය නම් කියන්නේ ඒක මොරටුවේම නිෂ්පාදනයක් කියලා. ඇත්තද දන්නේ නම් නෑ. මීට අමතරව හිඟන්නා, 304, පෝකර් වගේ ඒවාත් ඉතිං නැගලා යනවා. ඒත් ඔය සේරම පරදවලා මේ දවස් වල මේ "මාෆියා" කියන සෙල්ලම ගොඩාක් ජනප්‍රියයි.


කොච්චර මේකට ආසා උනාද කියනවා නම් ටිකක් හොයල බැලුවා මේකේ ඉතිහාසය. මේක අයිති වෙන්නේ "Party Games" කියන වර්ගයට. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය එකතු උනාම කරන්න පුළුවන් අවම පහසුකම් ටිකක් උවමනා වෙන ක්‍රීඩා වර්ග. මේකට නම් ඕනේ කාඩ් ෆැක් එකක් විතරයි. ඒකත් කට්ටියගේ චරිත බෙදා ගන්න. ලංකාවේ අපි පාර්ටි වල සෙල්ලම් කරන්නේ නැති උණාට - හරි හරි වෙන වෙන සෙල්ලම් කරනවා තමයි. ඒත් දෙකක් දා ගත්තාට පස්සේ ආයේ සිහියක් නෑනේ - ඕන තරම් මල ගෙවල්, දානේ ගෙවල් තියනවනේ. එතකොට දහයක් දොලහක් හොයා ගන්න අමාරු නෑ. කඩදාසි කුට්ටම ඉතිං ඒවාගේ අනිවාර්යෙන්ම තියනවනේ.

ආයේ මේවා ගහන්න ඕනේ නෑ මල ගෙදරක

ඇත්තටම මේක තර්කය මත පදනම් වුණු ක්‍රීඩාවක්. අවම වශයෙන් 8-9 ක් වත් ඕනේ සාර්ථකව කරන්න නම්. මේ සෙල්ලමේ චරිත වර්ග දෙගොල්ලක් ඉන්නවා. ඒ අය ගැන තමයි මුලින්ම කිව්වේ. එක කොටසක් තමයි මාෆියා වරු. මෙයාලා රෑට එකතු වෙලා ගමේ ඉන්න අනිත් එක්කෙනෙක්ව මරනවා. පහුවෙනිදා උදේට ඉන්නවා හොඳ මිනිස්සු වගේ පාඩුවේ. එතකොට වෛද්‍යවරයාට පුළුවන් වෙඩි වැදුණු කෙනා හොඳ කරන්න. ඒ වගේම පොලිස් නිලධාරියාට පුළුවන් සැක කරන කෙනෙක් ව ප්‍රශ්න කරන්න එයා වැරදි කරුද නැද්ද කියලා බලන්න. එතකොට දවල් කාලේදී පුලුවන් සේර්ටම එකතු වෙලා සැක කරන කෙනෙක්ව එල්ලා මරන්න. ඉතිං මේ වෙලාවේ අහිංසක කෙනෙක් අහුවෙන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ දේවල් මෙහෙයවන්න වෙනම තව කෙනෙක් ඉන්න ඕනේ. මම දන්නවා මෙහෙම කිව්වාට පොඩ්ඩක් තේරෙනවා අඩුයි කියලා. මොකද ළඟ තියා ගෙන අතක් සෙල්ලම් කරපුවාම තමයි හොදටම ඇඟට යන්නේ. හැබයි මෙතනින් ගියොත් පොදු ආකෘතියක් යටතේ කරුණු දැන ගන්නත් පුළුවන්. කැමති විදියට මේ නීති රීති වෙනස් කරන්න උණත් පුළුවන්.

කැමති කැමති චරිත දාගන්න පුළුවන්

උදාහරණයක් විදියට මාෆියා වරු වෙන්නම ඕනේ නෑ. අර වෘක මිනිස්සු (werewolf) එහෙමත් නැතිනම් පිල්ලු (zombie), FBI Agent ලා වගේම යක්කු වගේ චරිතත් මේකට ගන්න පුළුවන්. ඕනේම නම් ආයතනයක ලොක්කට පන්දම් අල්ලන එවුන් කියලා හරි මේ දුෂ්ටයෝ නම් කරගන්න පුලුවන්. ඒ ඒ කතාව අනුව ඉන්න අය පවා වෙනස් කරන්න පුළුවන්. ඒ විදියට මේ ක්‍රීඩාව දැනට ගොඩාක් ජනප්‍රිය වෙලා තියනවා ආකාර විශාල ප්‍රමානයකින්. රුසියන් ක්‍රමය, ෂර්ලොක් හෝම්ස් වගේ ගොඩාක් නම් වලින් මේ එක එක ආකාර ප්‍රසිද්ධ වෙලා තියනවා. එකම වෙනස කතාව සහ චරිත වෙනස් වෙන එක විතරයි.

ලොකු පොඩි හැම දෙනාටම'

මේක කියවපු ගොඩක් අයට හිතෙනවා ඇති මේක මහා විකාරයක් නේ. මේ වගේ ලිපියක් දැම්මේ ඇයි කියලා. ඔන්න දැන් ඒක ගැන කියන්න යන්නේ.

  1. මේක ගොඩාක් තර්කය මත පදනම් උණු ක්‍රීඩාවක් හින්දා තාර්කික හැකියාව දියුණු වෙන්න අපුරු ක්‍රීඩාවක්. ඊට අමතරව තැනට සුදුසු නුවණ, කෙනෙක් කියන දෙයක් ගෙඩිය පිටින් පිළිගන්නේ නැති වෙන්න වගේ හැම දේකටම මේක හොදයි.
  2. මේක මුලින්ම රුසියාවේ මොස්කව් රාජ්‍ය සරසවියේ මනෝවෛද්‍ය දෙපාර්තමේන්තුවේ දිමිත්‍රි දේවිදොෆ් කියන කෙනා 1986 දී නිර්මාණය කරලා තියෙන්නේ පර්යේෂණයක් (Research) විදියට. මේ දවස් වල අපිත් කට්ට කාගෙන මේ විදියේ පර්යේෂන කරන හින්දා පර්යේෂණයක් විදියට මේකේ තියන වෙනස ගොඩාක් දැනුණා. අනික මේක ලෝකය පුරා ජනප්‍රිය වෙලා තියනවා හරි ඉක්මනට. ඒ හින්දා මේක අගය කලයුතු දෙයක්.
  3. අනිත් එක තමයි මේ සෙල්ලම කරද්දී එකේ තියන වින්දනය හින්දාම අනිත් අයත් එක්කත් බෙදා හදාගන්න හිතුණා.
කොච්චර මේකට ඇබ්බැහි වෙලාද කියනවා නම් යාලුවෝ එක්ක විතරක් නෙවේ දැන් අන්තර් ජාලයේ පවා මේක ක්‍රීඩා කරන්න පෙළඹිලා. හැබයි ඒක නව්ත්තාගන්න බැරි තරමට වැඩි වෙන්න පුළුවන් හින්දා වැඩිය අනුමත කරන්නේ නම් නෑ. පොඩ්ඩක් සංකීර්ණ උණාට මුලික දේවල් වෙනස් වෙන්නේ නෑ. කැමති කෙනෙකුට ඕනේ නම් මෙතනින් යන්න පුළුවන්.

ආයේ මළගෙදරක රෑ එළිවෙනකල් ඉන්න උණොත් එහෙම මේක අත්හදා බලන්න. එළිවෙනවා දැනෙන්නේ නෑ කියන එක සහතික වෙනවා. හැබයි හරියට දැනගෙන ඉන්නත් වෙයි ඒකට.

20 comments:

  1. මේක හොද රිසර්ච් එකක්.. පොඩි දෙයකින් ලොකු වැඩක් ගන්න පුළුවන් තරම් මානසික මට්ටමක් හදාගන්න පුළුවන් බව ඇමරිකන් කාරයා අපට ඉගැන්නුවා..

    ReplyDelete
    Replies
    1. මට අපි කරන රිසර්ච් එකත් එක්ක මේවා සංසන්දනය කරලා බලන්න හිතුනා. අහසට පොළව වගේ.

      Delete
  2. මම නම් ඔය ක්‍රීඩාව කරලා නෑ.
    ඉස්සර මල ගෙවල් වල තියෙන්නේ යකඩ පුටු නෙහ්. අපි එතකොට හිමිහිට පිටිපස්සෙන් ගිහින් ගිනි කූරක් පත්තු කරලා පුටුව යටින් අල්ලනවා. අරූ පුටුව රත් උනහම එක වතාවෙම නැගිටිනවා. :)

    ReplyDelete
    Replies
    1. ඒ බං ඒ දවස් වල ඇලුමිණියම් වලින් ගහල තිබුන පුටු නෙව...උඹත් බලං ගියාම මගේ පුටුවත් රත් කරපු එකෙක්ද කොහේද...

      Delete
    2. අන්න හරි දේශකයෝ.. ඒ පුටු තමා.
      ගිණි කූර අල්ලන පමාවට රත් වෙනවා.

      Delete
    3. අපි නම් කරන්නේ හුණු ටිකක් අරන් ගිනිකුර අලවනවා.ඊට පස්සේ මාරු වෙලා යනවා. කවුද කලේ දන්නේ නැනේ එතකොට

      Delete
  3. මොකක්ද බන් මේ. හිටහන් ආයෙත් කියවලා බලන්න

    ReplyDelete
    Replies
    1. පොඩි පහේ සෙල්ලමක් ගැන. ඒත් මේක නිකම්ම නිකං එකක් නොවුණු හින්දා තමයි ලියන්න හිතුණේ

      Delete
  4. හිඟන්නා, 304, පෝකර් ///
    යක්ෂයෝ මාත් ඔය කාඩ් සෙල්ලම් ටිකක් දන්නවා වැඩි හරියක් ඉගෙන ගත්තෙ ඔය මල ගෙවල් වලින් තමා ..ඇත්ත වෙලාව යනවා දැනෙන්නේ නෑ මම හිගන්නා හොයන එකට කාලයක් ඇබ්බැහි වෙලා හිටියා ,අඩෝ මාෆියා මම කරලා නම් නෑ ,හොඳට කියවලා බලන් නම් අපි වෙන නමක් කියනවා ද දන්නෙ නෑනේ ..

    ReplyDelete
    Replies
    1. අනිවා පැය 4,5 ගහන්න පුළුවන් ගින්නක් නැතුව.

      Delete
  5. මම මේවා කරලම නැහැනේ.. පොඩ්ඩක් හොයලා බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වගේ මල ගෙවල් වල ඉන්න එකක්යැ. ඒ හින්දා පාටි වලදී සෙට් උනාම තමයි කරන්න වෙන්නේ

      Delete
  6. මගේ නම් වැඩි උනන්දුවක් නැහැ කාර්ඩ් ගේම් ගැන. ඒත් මේ විස්තරය නම් අපූරුවට ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. මේක කාඩ් ගේම් එකක් නෙවේ බන්. කට්ටිය ටික දෙනක් විතරක් ඕන සෙල්ලමක්

      Delete
  7. මල ගෙදරවල් වල කාඩ් ගහන්නේ, කැරම් ගහන්නේ, පිටිපස්සට වෙලා බොන්නේ අමනයෝ. මල ගෙදරකට එන්නේ සංවේගය (ශෝකය නෙවෙයි) ප්‍රකාශ කිරීමට සහ බෙදාගැනීමට. සහනයක් ලබාදීමට. එහෙම එන්න බැරි කාලකන්නි නෑවිත් හිටියනම් ලොකු සේවයක්.

    ReplyDelete
    Replies
    1. එකඟයි සම්පුර්ණයෙන්ම. ඒත් මහ රෑ 12 න් පස්සේ ඒ මිනියට තනි රකින්න හරි ඉන්නේ ගමේ කොල්ලෝ ටිකයි ගෙදර අයයි විතරයි. අපේ පැති වල නම් එළිවෙනකල් දවස් 7 ම කොල්ලෝ ඉන්නවා. අනිත් පැතිවල කොහොමද දන්නේ නෑ. ඒත් එහෙම ඇහැරිලා ඉද්දි කැරම් අතක්, කාඩ් අතක් ගහන එකේ ලොකු වරදක් දකින්නේ නෑ කවුරුවත්

      Delete
  8. මුලින් නම් මේ කියල තියෙන කතාව තේරුනේ නෑ. ඒත් විස්තරය කියවගෙන යද්දි පස්සෙ ආසා හිතුනා. පොඩ්ඩක් හොයල බලන්න ඕන මේ ගැන.

    මම ඉස්සෙල්ලා හිතුවෙ යක්ශයා කථාවක් ලියන්න පටන් අරන් කියල :)

    ReplyDelete
    Replies
    1. දාලා තියන link එකට යන්න. ඒ කිව්වේ මේකට
      http://www.wikihow.com/Play-Mafia
      සේරම විස්තර තියනවා. ලේසියි ගොඩාක්.
      මේක ලියාගෙන යද්දී නම් මටත් හිතුණා කතාවක් ලිව්වා නම් හොදයි කියලා.

      Delete
  9. බ්ලොග්වලට යටවෙලා ඉන්නවා මදිවට මාෆියාත් ගහපන්කෝ....ගෑණි මාව ඇට දෙකෙන් එල්ලයි. :D

    මේ ගේම අදමයි ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ එහෙනම් එපා. අපිටත් එක්ක වග කියන්න වෙයි පස්සේ ඕවාට

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න