Saturday, January 4, 2014

නොකියපු කතාවක්

"තාමත් හෙඩ් ඉන්නේ ----- සර් ද? මිනිහා නම් පොතේ විදියටම තමයි නේද වැඩ?"
ඉංජිනේරු මහත්තයාගේ කටහඩ. තව කට්ටියක් එක්ක කතාවක්. ඒ පාර සේරමත් එක්ක මේ පැත්තට එනවා.

------------------------------------------------------------------------------------
"අයියේ වැඩිය ඕනේ නෑ. මේ සයිට් එකෙන් 15 ක් හිටියා නම් ඇති"
"අයියෝ කමක් නෑ බන්, කතා කරපන් ඕන කෙනෙකුට. උඹලට කතා කරගන්න දීලා. මම ටිකක් මඟ ඇරලා ඉන්නම්. මම හිටියොත් ඕකුන් කතා කරන්නේ නෑ කිසිම දෙයක්"

"තව ටිකකින් කට්ටිය තේ බොන්න යනවා. එතකොට වාඩියට ගියාම කතා කරපල්ලා. එතකන් එක්කෙනක් දෙන්නෙක් අල්ලා ගනින්. ම්ම්ම් පොඩ්ඩක් ඉදපන් බලන්න."

"හේමන්ත....."
කොලම් පෙට්ටිය අස්සෙන් කැහැටු මුණක්. අපිටත් වඩා වයස අඩුයි වගේ.
"හේමන්ත, මේ මහත්තුරු කැම්පස් එකේ කට්ටියක්. එයාලගේ වැඩකට ප්‍රශ්න ටිකක් අහයි. දන්න විදියට උත්තර දීපං. ඔය කොලම් පෙට්ටිය ගහන ගමන්ම වැඩේට උදව් කරපං"

"හොදයි මහත්තයා"
"හ්ම්ම් අනිත් පෙට්ටිය ගහලා ඉවරද?"
"ඔව්. ලොකු බාසුන්නැහේ අනිත් එක පටන් ගත්තා. මට මේකේ ලඹේ හදන්න කියලා"
"ඕක කරන ගමන්ම එහෙනම් මේ මහත්තුරු අහන දේකටත් උත්තර දීපං"
"මල්ලිලා එහෙනම් අහන දෙයක් අහන්න. මේක ඉවර කරලා පහලට එමු. තේ එකක් බිලාම ඉතුරු ටික කරගන්න පුළුවන්නේ"
"තැන්ක්ස් අයියේ. ලොකු උදව්වක් මේක නම්"
"ඕවා මොනවාද බන්. උඹලා එහෙනම් වරෙල්ලකෝ හෙමිහිට"

-------------------------------------------------------------------------------------
ඒ පාර මොකක්ද වෙන්න යන්නේ.
-------------------------------------------------------------------------------------
"අපි මේ මොරටු කැම්පස් එකෙන්. අපි පොඩි රිසර්ච් එකක් කරනවා. ඒකට ප්‍රශ්න ටිකක් අහන්න වෙනවා. කමක් නෑ නේද"
"කමක් නෑ මහත්තයා"
"නම මොකක්ද බන්"
"හේමන්ත. හේමන්ත ගුණසිරි"
"වයස"
"22"
"කීයට යනකල් ඉස්කෝලේ ගියාද?"
-------------------------------------------------------------------------------------
තාත්තා නැති වෙද්දී මම දහය වසරේ. එදා නවත්තපු ගමන ආයේ පටන් ගන්න හිත දුන්නේ නෑ.
-------------------------------------------------------------------------------------
"දහය වසරට යනකල්"
මම හිතුවේ ඕ ලෙවල් වලින් නවත්තලා ඇති කියලා. ඒ වෙනකල් ගිහිල්ලත් නෑනේ එතකොට.

"කොච්චර කල් වෙනවාද මේ සයිට් වල වැඩට ඇවිත්?"
-------------------------------------------------------------------------------------
ගඩොල් පෝරණුවේ වැඩට ඉන්න කාලේ තමයි මුලින්ම විජේසිරි අයියත් එක්ක තැපැල් මහත්තයාගේ ලොකු පුතාට හදපු ගෙදර ස්ලැබ් එකක් දාන්න ගියේ. ඒ මොන අවුරුද්දේද?
-------------------------------------------------------------------------------------
"ම්ම්ම් දැන් අවුරුදු 4ක් වගේ වෙනවා"
"දවසට කීය ගානේද වැටෙන්නේ බන්?"
"1200 ක් වගේ තමයි ඉතිං"
ඒ කියන්නේ සෙමි ස්කිල් ලේබර්.

"මෙතැන වැඩට ඇවිත් දවස් කීයද?"
-------------------------------------------------------------------------------------
ගමෙන් ඇවිත් අදට දවස් 17 යි. කොහොම අමතක කරන්නද ඒක නම්
-------------------------------------------------------------------------------------
"සති දෙකකට පොඩ්ඩක් වැඩියි වගේ මහත්තයෝ"
"පවුලේ කියක් ඉන්නවද එතකොට"
"අම්මයි මමයි නංගිලා දෙන්නයි"
"එයාලා රස්සාවක් කරනවාද?"
"අම්මා පොල් අතු වියනවා. ලොකු නංගි නම් ගාමන්ට් යනවා. පොඩ්ඩි නම් තාම ඉස්කෝලේ යනවා"

සේවකයා හැරුණු විට වෙනත් පවුලේ ආදායම් උපයන ගණන එතකොට දෙක ද නැතිනම් එකද? ඕන දෙයක්. එකයි කියලා දානවා. 
"ඉතිරියක් තියෙනවාද ගන්න එකෙන්"
-------------------------------------------------------------------------------------
විජේසිරි අයියා ගාව ඉද්දි නම් අම්මා අතට ගානක් දුන්නා. මෙහේ ආවට පස්සේ තවම එක පාරයි පඩි හම්බුනේ. ඒත් එලියට යා ගන්න වේලාවක් හම්බුනේ නැති හින්දා ගෙදරට කියක්වත් දාන්න බැරි උණා. පව් ලොක්කි. ඒකි හම්බ කරන එකෙන් තමයි මේ දවස් ටික පිරිමහා ගන්න වෙන්නේ.

-------------------------------------------------------------------------------------
"එහෙමටම නම් නෑ මහත්තයෝ. හම්බ කරන එක ඉතිං වියදමට ගියාම හරි"
"පුහුණුවක් ලබලා තියනවාද ටෙක් එකෙන් වගේ"
"අනේ නෑ මහත්තයෝ. විජේසිරි අයියා එක්ක ගිහින් හැන්දට අත හුරු උණා යාන්තමට. අමුතුවෙන් කියලා පුහුණුවක් නෑ ආයේ"
"ඉස්සරහට පුහුණුවක් වගේ කරන්න හිතං ඉන්නවාද"
------------------------------------------------------------------------------------
රන්ජිත් නම් හයිටෙක් එකේ කෝස් එකක් කරන්න ගියා, මම ගමෙන් එන්න මාසෙකට විතර කලින්. හැමදාම මේක කරන්න බෑ කියලා. ඒත් 40 ක්ද කොහෙද වෙනවානේ ඒකට.
------------------------------------------------------------------------------------
"යන්න නම් හිතක් තියනවා. ඒත්...."
"ඒත් කිව්වේ. ගාන පොඩ්ඩක් වැඩියි වගේද?"
"ඔව් මහත්තයෝ"
හැම කොල්ලාම මෙතනදී අසරණ වෙනවා. මේ ප්‍රශ්නේ අහන්නත් මොකක්ද වගේ, ඒත් ඉතිං මොනවා කරන්නද?
"බදින්න එහෙම අදහසක් නැද්ද?"
"නංගිලාගේ වැඩ ඉවරයක් වෙනකල් එහෙම දෙයක් හිතන්නේ කොහොමද මහත්තයෝ?"
"කවුරු හරි කෙනෙක් ඉන්නවාද හේමන්තට"
-------------------------------------------------------------------------------------
ආපහු පරණ තැනටම. මේක හින්දාම තමයි ගමෙන් ආවේත්. ආයෙමත් ඒකම හිතට වද දෙනවා.
-------------------------------------------------------------------------------------
කොල්ලාට ලජ්ජා හිතිලා. මුණත් එක්ක රතු වෙලා. කෙල්ල මතක් වෙලා වගේ. 
"නෑ මහත්තයා. එහෙමයි කියලා කෙනක් නෑ"
"කලින් හිටියා නේද?"
හිනාවෙලා බිම බලා ගත්තා ඒ පාර. මේකාගේ බොරුද කොහේද?

"දැන් කවදා හරි කසාද බදින්න එහෙම යන දවසක මේ රස්සාව කරන එක අවුලක් වෙයිද?"
"ඒ කිව්වේ මහත්තයෝ"
කොහොමද මේක කියන්නේ. හැම වෙලාවේම මෙතන දී අසරණ වෙනවා අපිත්.
"දැන් හිතපන්, උඹ වැඩ කර කර ඉන්න තැනකින් උඹේ කෑල්ල යනවා. අපි හිතමු යාලුවෝ සෙට් එකත් එක්ක පන්ති ගිහින් එනවා කියලා. එතකොට උඹට අවුල වගේ නැද්ද පොඩ්ඩක්"
-------------------------------------------------------------------------------------
කොහේ ගියත් ඔයා මට ඔයාගේ මතකයෙන් ඈත් වෙන්න දෙන්නේ නෑ දනු. එදා ඉදන්ම ඔයා කිව්වේ වෙන වෙන රස්සාවක් හොයා ගන්න කියලා. ඒත් දහය වසරට යනකල් ගියපු මට ආයේ වෙන රස්සාවක් කරන්නේ කොහොමද දනු. කවදාවත් ගෙදරින් ඔයාව මම වගේ එකෙක් ට දෙන්නේ නෑ කියලා ඔයාලගේ තාත්තා කිව්ව කතාවේ වැරැද්දක් නෑ. හරි හමන් රස්සාවක් නැති එකෙක් කොහොමද පවුලක් නඩත්තු කරන්නේ. කුකුල් ගාමිණියා  බැදලා උගේ කුකුල් මඩුවේ ඉන්න දවස් 45 කුකුලෙක් වගේ ජිවිත කාලෙම හිර වෙලා ඉන්න බෑ, කොහේ හරි පැනලා යමු කියලා ඔයා කිව්වත් මට බැරි උණා ඒ දේ කරන්න. මම කොහොමද අම්මගෙයි නංගිලා දෙන්නයි අමතක කරන්නේ. ඔයා කරන්නම දෙයක් නැති තැන තමයි අන්තිමේ ඒකට කැමති උණේ. මට මනෝරි කිව්වා කලින් දවසේ රෑ එළිවෙනකල්මත් අඩ අඩා ඉඳලා නිදා ගත්තා කියලා. ඒ පහුවෙනිදා උදේ බස් එකට නගින්න යද්දී. මඟුල් දවසේ උදේම ගෙදරින් ආවේ මට ඔයාගේ මුණ බලන්න බැරි හින්දා. 
--------------------------------------------------------------------------------------
තප්පර තිහකට ත් වැඩි කොල්ලා කතා නැතුව. ආයේ දෙයක් අහන්නත් මට මොකක්ද වගේ.
"මම ගිහින් එන්නම් බන්. ගොඩක් ස්තුතියි කතා කලාට"
ඔලුව උස්සලා බැලුවා විතරයි. කිසිම දෙයක් කිව්වේ නැති උණාට, ඒ ඇස් දෙක අස්සේ මොකක්දෝ ලොකු කතාවක් තිබබා. අමතක කරන්න බෑ ඒ බැල්ම.
------------------------------------------------------------------------------------
"හේමන්ත තේ බොන්න පහලට යන්නේ නැද්ද බන්"
"අයියේ.... අයියලා යමු. මම පස්සේ එන්නම්"
පාර දිගේම ගියාම අඟුලාන ස්ටේෂම ගාවට වැටෙනවා. ඒත් එකක්ම මුහුද කියලා ආපු දවසෙම තමයි ලොකු බාසුන්නැහේ කිව්වේ. තවම ආවත් හරි ගියේ නෑ. අද හැන්දෑවේ TO මහත්තයාට කියලා යනවා ඒ පැත්තේ. 
--------------------------------------------------------------------------------------
"උඹ කී දෙනෙක් ගේ ගත්තද බන්, මම 6ක් ගත්තා."
"එහෙනම් ගාන හරි වගේ"
"හ්ම්ම්ම්...."

ප.ලි.
අවසන් වසරේ සමීක්ෂණය (Final Year Research) තමයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයෝ රදවා ගන්න පුහුණුව, වෘත්තීය අභිමානය සහ ආදායම යන කාරණා තුන බලපාන්නේ කොහොමද කියලා. (Construction Labour Retention - Explore Training / Dignity / Remuneration Need) ඒක වෙනුවෙන් ප්‍රශ්නාවලියක් (Questionnaire) හදලා සයිට් කිහිපයකට ගියපු වෙලාවේ, හිතට දැනුණු දෙයක්.  

29 comments:

  1. හ්ම්ම්... මගේ ජීවිතයේ මට නිතර හමුවූ, මම ආදරය කරන මිනිසුන් කොටසක් ගැන....
    අනතුරු, කරදර බහුල මෙම ක්ෂේත්‍රයට, නිසි වෘත්තීය පුහුණුවක් නොමැතිව දවසට කී දෙනෙක් වැඩට එනවද, මුදල් නොමැතිකම නිසා... මේක වෙනම කතා කල යුතුයි.
    මම ට්‍රේනින් හිටපු මඩකලපුවේ සයිට් එකට එක දවසක් උප කොන්ත්‍රාත් කරුවෙක් යටතේ වැඩ කරන්න අලුත් කෙනෙක් ඇවිත් තිබුනා. පහුවදා ඔහුගේ මුල්ම වැඩ දවසේ ඔහු මිය ගියා හදිසි හෘදයාබාධය කින්... මේක කියවද්දී ඔහුව මතක් උනා.

    ReplyDelete
    Replies
    1. අපි කරන්න ගියේ වෙන දෙයක්. ඒත් අවසානේ වෙනමම දෙයක් අත් වින්දා

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අපෙ අල්ලපු ගෙදර හදනව ඒකට ආව අත් උදව් දෙන්න පොඩි කොල්ලෙක් එයා ඉන්ජිනේරින් ෆැකල්ටි තේරුන කෙනෙක් ලු. පව් මේසන් බාස් ට අත් උදව් දෙනව.

    …තව මාත් එක්ක ක්ලාස් හිටපු කෙනෙක් ෆ්‍රෙ කාඩ් ගන්න විදියක් නැතුව බදාම අනන්ඩ ගිහින් සල්ලි එකතු කරල ඊලග පාර පන්ති ගියෙ

    …ආර්ට් ඩිග්‍රි කරපු කෙනෙකුත් හිටිය මම් දන්න සර්වේ කරන්න යන අයට ටාගට් අල්ලන, පව්

    …දුප්පත් මේ තරම් වත් ඉගනගෙන නැති අය ගැන කවර කතාද ගොඩක් එමක් නෑ ජීවිතෙට -

    ReplyDelete
    Replies
    1. තමන්ගේ හීනය දැක ගන්න බැරිව අතරමඟ අත ඇරලා දාපු අය මහා ගොඩාක් ඉන්නවා.

      Delete
  4. සමහර ප්‍රශ්න ඉස්සරහ, උත්තර දෙන කෙනා වගේම ප්‍රශ්නෙ අහන කෙනත් ලොකු අපහසුතාවයකට පත්වෙනවා

    ReplyDelete
    Replies
    1. මේ ටික අපිම හදා ගත්තේ. ඒත් ඒවා අහන්න යද්දී තමයි ඒවාගේ බරපතල කම තේරුනේ

      Delete
  5. අනේ මන්ද බන්.මේ ප්‍රශ්නත් එක්ක මිනිස්සු කොච්චර නම් හිර වෙනවද?ඒ අතර සල්ලි නාස්ති කර කර පිස්සු කෙළින පිරිසකුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා බන් උඹ මුලින්ම. අපි දෙන්නගේ නම පැටලෙන හින්දා ඔන්න මම පස්සේ නමත් මාරු කලා.
      සිරා කතාව. අපි කතා කරපු අයගෙන් ටික දෙනෙක් ඉන්නවා ගන්න ගාන ඉතිං එහෙම්ම නාස්තු කරන. අනේ මන්දා මෙච්චර මහන්සි වෙලා ගන්න එකේ වටිනාකමක් නැද්ද මන්දා

      Delete
  6. සමීක්ෂණ අවසානයේ ඔය වගේ තැන් වලින් තමා නතර වෙන්නේ.. මටත් බොහොම කනගාටුදායක මතක ඇත. එහෙත් කළ හැකි දෙයක් නැත. මේ ලෝකයේ සැම මිනිසෙකුම එකම අයිතිවාසිකම් තිබුනද ඒවා ඒ අයුරින්ම නොලැබේ.. හරියට කිව්වොත් ඒක තමා ජීවිතය..

    ReplyDelete
    Replies
    1. අපි නොහිතන ගොඩාක් පැති ගැන හිතන්න ලැබුණා ඇත්තටම

      Delete
  7. සමීක්ෂණ වලදී ජීවිතේ කලකිරෙන කතා අහන්නට ලැබෙනව නේද යක්ෂයො.හරිම කනගාටුදායකයි.

    ReplyDelete
    Replies
    1. මුලින්ම අපිත් ඔහේ ප්‍රශ්න අහගෙන ගියා විතරයි. අපේ වැඩේට ඕන වෙන. ඒත් පස්සේ තමයි නියම විදියට අහන්න ඕන විදිය තේරුනේ. එතකොට අපි හිතුව කාරණා වලට වඩා ගොඩාක් වෙනස්, ඇත්තටම වැදගත් වෙන දේවල් එලියට ආවා. සමහරක් ඒවා ගොඩාක් අප්සෙට් ගහන දේවල්

      Delete
  8. ජීවිතේ සමහර දේවල් ඉස්සරහ අපි කවුරුත් නිහඩයි..
    සල්ලි කියන දේ අද ලොකු දෙයක් වෙලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. අනිවා මචන්. අපිට බෑ සමහරක් ඒවා ඉස්සරහ මුහුණ දෙන්න

      Delete
  9. ඇත්තටම හිතට හුඟක් තදට දැනුනා :(
    බලාපොරොත්තු උනත් සිල්ලරටම විකුනන්න වෙනවා දුප්පත්කමත් අසරනකමත් හමුවෙ කාට උනත් ,, හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බන්, සමහර හීන දකිනවා විතරයි

      Delete
  10. මේ වගේ කතා අහන්න දකින ලැබෙන එක හිතට ඇත්තටම දුකක්.. හීන විකිණිලා යද්දී දැනෙන්නේ ජීවිතේම නැති වුනා වගේ තමයි...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත දිනේෂ් අයියේ. අමාරුයි එහෙම වෙද්දී දරා ගන්න

      Delete
  11. යක්ෂයා මෙහෙම තමයි ජිවිත ,දුප්පත්කම,අසරණකම ,පවුල් ප්‍රශ්න තෙරපිලා ජිවිතේ ,මට නම් මේ වගේ කතා ඕනෑ තරම් දැක තිබෙනවා අපේ ගම් වල ,මගෙත් අදහසක් තිබෙනවා එ ගැන ලියන්න ..
    හිතටම වදින්න ලියලා තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. අපි අතර ඉන්න බහුතරයකගේ කතාව මේ. අපි අතර නැති දේවල් ගැන ලියලා වැඩක් නෑ ඇත්තටම

      Delete
  12. අයියෝ සල්ලි තමයි මිනිස්සු රජ කරන්නෙත් බලු කරන්නෙත්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කෝරලේ මහත්තයාගේ කතාව නම්.

      Delete
  13. ඇත්ත. මේ වගේ අවස්ථාවලට මුහුණ දුන්න ම මිනිස්සුන්ට මොනව කියන්න ද කරන්න ද හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මෙතන අපේ වැරැද්දත් තියනවා. අපි ගොඩාක් හිතන්නේ නැතුව සමහර ප්‍රශ්න ඇතුලත් කෙරුවේ

      Delete
  14. හිතට දුකක් දැනුනු පෝස්ටුවක් !

    ReplyDelete
    Replies
    1. අපිට ඒ වෙලාවේ දැනුනෙත් මේ දේමයි

      Delete
  15. ඕවා පස්සේ සාම්මනය දේවල් වෙනවා මේ ක්ෂේත්‍රයේ රස්සාවකට ආවාම.මොනිස්සු හැම දහයකින් අටකගේම කතාව ඕක තමයි....එත් ටික කාලෙකට විතරයි......මේ රටාවට පාඩම් වුනාට පස්සේ අර කියන අහිංසක මිනිහා අතුරුදහන් වෙනවා.. මුදලට මුල් තැන දෙන අමුතු සත්වයෙක් නිර්මාණය වෙනවා ඊට පස්සේ .... එහෙම නැතුව මුලදී තිබ්බ වටිනාකම් එක්ක ජීවත් වෙන්නේ බොහොම සුළු පිරිසක්.

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතිං ඒ මිනිස්සුන්ටම වරදක් කියන්න බෑ අයියේ. ගොඩාක් දේවල් බලපානවා ඒකට

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න